කටුනායක ගුවන්තොටේ තාවකාලික වසා දැමීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බලපාන අයුරු. (SBS සිංහල/වාර්තා)

කටුනායක ගුවන් තොටුපොළේ තාවකාලික වසා දැමීම සංචාරකයන්ගේ පැමිණීම කෙරෙහි ඍණාත්මක බලපෑමක් සිදු කරන බව ද ඒ හේතුවෙන් 2017 වසරේ අපේක්ෂිත මිලියන 3ක සංචාරකයන්ගේ පැමිණීම වෙත ළඟා වීමට අපහසු බවද පැවසේ.

SriLankan Airline

Source: SriLankan Airline

2017 වසරේ සංචාරක ඉලක්කය අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළ බසින බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති පැඩී විතාන මහතා පැවසීය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිසංසකරණ කටයුතු සඳහා දිවා කාලයේ වසා දැමීම සහ Frankfurt සහ Paris යන ගමනාන්ත වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවා අත් හිටුවීම ඊට ප්‍රධාන හේතු බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම කටුනායක ගුවන් තොටුපොළේ තාවකාලික වසා දැමීම සංචාරකයන්ගේ පැමිණීම කෙරෙහි ඍණාත්මක බලපෑමක් සිදු කරන බව ද ඔහු පැවසීය. මේ හේතුවෙන් 2017 වසරේ අපේක්ෂිත මිලියන 3ක සංචාරකයන්ගේ පැමිණීම වෙත ළඟා වීමට අපහසු බව ඔහු පෙන්වා දෙයි.

2016 වසර සඳහා ශ්‍රී ලංකාව වෙත සංචාරකයන්ගේ පැමිණීම මිලයන 2.1ක් ලෙස සටහන් වූ අතර දෙසැම්බර් මාසයේ පමණක් එය 224,791 විය.

මේ අතර, මත්තල ගුවන් තොටුපොළේ සිට චීන ගමනාන්ත දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවා ක්‍රියාත්මක වීම නිසා චීන සංචාරකයින් හට ශ්‍රී ලංකාවේ දකුණු දිග කලාපය මනාව නැරඹීමට හැකියාව ලබා දෙන බව Sri Lanka Inbound Tour Operator’s Association හෙවත් SLAITO ආයතනය පවසයි.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ආයෝජනය කරමින් එසේ පැමිණෙන සංචාරකයින් මත්තලින් රැගෙන යාම දකුණු ලක හෝටල් සහ සංචාරක සංගම් විසින් කළ යුතු බවද ඔවුන් පවසයි.

මේ අතර හම්බන්තොට වරාය පිළිබඳ පළ වූ වැරදි ප්‍රචාර නිසා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානියක් සිදු වූ බවත් එය නිවැරදි කිරීම පිණිස වහාම නව ජාත්‍යන්තර අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහනක් අවශ්‍ය බවත් SLAITO පැවසීය.

ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ඇති ප්‍රසිද්ධිය හේතුවෙන් 2017 වසරේදී ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් මිලියන 2.5ක් පැමිණේවි යැයි සහ එමගින් ඩොලර් බිලියන 4.5ක ආදායමක් හිමි වේවි යැයි ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අනාවැකි පළ කරයි.

ඊසාන දිග හා දකුණු දිග ශ්‍රී ලංකාවේ නව සංචාරක ස්ථාන විවෘත කිරීම නිසා සංචාරකයින් එක් ගමනකදී නැවතෙන රාත්‍රී සංඛ්‍යාව 11 දක්වා වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති පැඩී විතාන මහතා පැවසීය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරකයින්ව දරාගැනීමේ හැකියාව 2016 වසරේදී ඉහළ අගයක් ගත බවත් වසර අවසාන වන විට එය ප්‍රතිශතයක් ලෙස 77%ක් විය.

ඊට අමතරව 2016 වසර සඳහා CESS මගින් රුපියල් බිලියන 2.2 ක් රැස් කරගැනීමට හැකිවෙතැයි ද ඔහු අනාවැකි පළ කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට දියුණුවක් ලබමින් පවතින බව සඳහන් කළ සභාපතිවරයා ඊට හේතුව ලෙස දැක්වුයේ ශ්‍රී ලංකාව තුළ දැන් සාමය පැතිරී යාමය. යුරෝපය වැනි ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්ත වල චංචල අවස්ථාවන්ද ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට රුකුළක් වූ බවද ඔහු පැවසීය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වෙළෙඳ පොළෙහි දැවැන්තයින් වන Hyatt, Movenpick, Shangri-La, OZO, Anantara, Dusit Thani යනාදී සමාගම් වල ශාඛා ශ්‍රී ලංකාවේ විවෘත කිරීම දැක්විය හැකි බවද ඔහු පැවසීය.

මීට අමතරව දැනට පවතින හෝටල් සඳහා තව තවත් කාමර එකතු කිරීමද සිදු වන අතර එමගින් දේශීය ව්‍යාපාරිකයින්ද දිරිමත් වන බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති පැඩී විතාන මහතා පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාව සතුව තරු පන්තියේ කාමර 33,000 ක් පවතින අතර මෙම ප්‍රමාණය ලබන වසරේදී නව හෝටල් ආරම්භ වීමත් සමග වැඩි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙමගින් රැකියා උත්පාදනයද වැඩි වන බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තය ප්‍රමුඛවම දායක වන බවයි.

කටුනායක ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීම සහ යුරෝපයේ ඇතැම් ගමනාන්ත වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත් හිටුවීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඍණාත්මක බලපෑමක් සිදු කරන නමුත් මෙම අලුත්වැඩියා කටයුතු මාස 3කින් අවසන් වන නිසා එය දීර්ඝ කාලීනව බල නොපාන බව විතාන මහතා වැඩි දුරටත් පැවසීය.

ලබන මාසයේදී ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත ලෝක සංචාරක වෙළෙඳ පොළ හෙවත් World Tourism Market (WTM), ශ්‍රී ලංකාවට තවත් වැදගත් සන්ධිස්ථානයක් බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට, ඉතිහාසයේ ප්‍රථම වරට ලන්ඩන් නුවරදී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් road shows ත්‍රිත්වයක් පවත්වන බවද ඔහු අවසන් වශයෙන් අනාවරණය කළේය.

Share
Published 11 January 2017 1:24am
Updated 12 January 2017 12:04am
By Madhura Seneviratne
Source: Daily News


Share this with family and friends