එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ නැවතත් සාකච්ඡා වන ලකුණු. (SBS සිංහල/වාර්තා)

එළඹෙන පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරයේදී මාර්තු 22 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Another pro-Sri Lanka resolution likely in March

Source: UN

එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමේදී ශ්‍රී ලංකාව පිළිබඳ නැවත සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහය රැස් කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වේ.

ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මානව හිමිකම් යෝජනාව මගින් ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට වැඩි කාලයක් ලබා දී තිබේ.

එළඹෙන පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරයේදී මාර්තු 22 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Zeid Al Ra’ad Al Hussein විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කළ වාර්තාව මත මෙම සාකච්ඡා පදනම් වනු ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාවේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳ තෘප්තිමත් වන බව එම වාර්තාවේ Al Hussein සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව හමුදාව යටතේ ඇති දෙමළ ජනතාවගේ ඉඩම් ඔවුන්ට පැවරීම මන්දගාමීව සිදුවීම පිළිබඳ ගැටළුවක් ඇති බව ඔහු සඳහන් කර ඇත. එමෙන්ම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට අපොහොසත් වීම පිළිබඳවද ඔහු එහිදී කරුණු මතු කර තිබේ.

මානව හිමිකම් කටයුතු පිළිබඳ යාන්ත්‍රණයේදී ජාත්‍යන්තර නියෝජිතයින්ගේ සහභාගීත්වයද අවශ්‍ය බව ඔහු එහි සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාවලියේදී මානව හිමිකම් කවුන්සිලයේ සහයෝගය තීරණාත්මක බවත් මේ හා සම්බන්ධ සියලු පාර්ශව වෙත විශ්වාසය තහවුරු වන අන්දමින් වැඩ කටයුතු කිරීමට සහය සැලසීම කවුන්සිලයේ අපේක්ෂාව බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Zeid Al Ra’ad Al Hussein පවසා තිබේ.

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කළ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සහය හිමිවිය යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ මෙම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේ පටන් වගකීම් සහගත යාන්ත්‍රණයක් දියත් කිරීමට ශ්‍රී ලංකා රජය මන්දගාමී නමුත් අවබෝධාත්මක පියවරක් ගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, යුද සමයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවුවා යැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කටයුතු කිරීමට මමෙම යෝජනාව නිසා තවත් වැඩි කාලයක් ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කරයි.

පසුගිය වසරේ පොලීසිය ද සම්බන්ධවූ වධ හිංසා පැමිණවීමේ සිද්ධි හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ අවධානයක් මෙවරත් යොමු වන බවද පැවසේ.

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ සිදුවූ සුදු වෑන් සිදුවීම් සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සිදු කළා යැයි පැවසෙන ලිංගික හිංසනයන් පිළිබඳ විමර්ශනය කිරීමට ජාත්‍යන්තර සත්‍ය හා නීතිය පිළිබඳ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ ඉල්ලීමක් ද සිදු කර තිබේ.

බුද්ධි අංශ සහ ආරක්ෂක මෙහෙයුම් කණ්ඩායම් තවමත් දෙමළ ජනතාව හිර අඩස්සියේ රඳවා තබා ගනිමින් ඔවුන් හට කෘර වධ හිංසා හා ලිංගික හිංසනයන් සිදු කරන බවත් 2015 ජනවාරි මස රජය වෙනස් වුවත් එය දිගින් දිගටම සිදු වන බවත් ජාත්‍යන්තර සත්‍ය හා නීතිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂ Yasmin Sooka පවසයි.

වත්මන් ශ්‍රී ලංකා රජය යටතේදී නීති විරෝධී රඳවා තබා ගැනීම්වලට ලක්වූ, වධ හිංසා හා ලිංගික හිංසනයන්ට පාත්‍ර වූ යුරෝපීය රටවල සිටින දමිළ ජාතිකයින් 36 දෙනෙකු ගේ සාක්ෂි එකතු කරගත් බව ITJP පවසයි. මෙයින් 10 දෙනෙකුගේ ප්‍රශ්න සාධාරණ බව ඔප්පු වීමෙන් එම විදේශ රටවල් ඔවුන් හට සරණාගත භාවය ලබා දුන් බවද ඔවුන් පවසයි.

මේ අතර ශ්‍රී ලංකා රජයට තම ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යනම් පොලීසියේ අපයෝජන පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් යෝජිත නව ත්‍රස්තවාදයට එරෙහිවීමේ නීතිය මගින් පොලිස් බලතල වැඩි කෙරෙන නිසා මේ තත්තවය තවත් බරපතල වනු ඇතැයිද Human Rights Watch (HRW) සංවිධානය පෙන්වා දෙයි.


Share
Published 5 January 2017 2:32pm
Updated 5 January 2017 2:55pm
By Madhura Seneviratne


Share this with family and friends