නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස ඉදිකිරීම් වේගවත් කිරීමට ප්‍රාන්ත රජයෙන් නව ක්‍රම වේදයක්. (SBS සිංහල/වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස මිල පහත දැමීමේ අරමුණින් එම ප්‍රාන්තයේ ඉදිකිරීම් කේෂ්ත්‍රය සදහා සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් අහිතකර අතුරු ප්‍රථිපල ඇතිවිය හැකි බව විවිධ පාර්ශව පෙන්වා දී තිබේ.

Construction of apartments and houses

Building approvals are expected to have slipped three per cent in April. (AAP) Source: AAP

ඉදිකිරීම් සදහා අදාල වන අයදුම්පත් ක්‍රමවේදය වේගවත් කිරීම මගින් මෙලෙස නිවාස මිල පහත පහත වැටෙනු ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි. අලුතෙන් යෝජනා කර ඇති මෙම ප්‍රතිපාදන මගින් අනවශ්‍ය නීති රෙගුලාසි හේතුවෙන් තම ඉදිකිරීම් ප්‍රමාද නොකොට ඉක්මනින් එම ඉදිකිරීම් නිම කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සැලසුම් පිළිබද ඇමති Rob Stokes පවසයි. ඊයේ දිනයේ රජය විසින් මෙම යෝජනා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බව වාර්තා වෙයි. මෙම අලුතෙන් හදුන්වාදෙන නීති අතරට ඉදිකිරීම් පාලනය කිරීමට අදාල නීතිද ඇතුලත් වන බව සදහන්. ඒ අනුව ඉදකිරීම් පිළිබද සැලසුම් අදාල කවුන්සිලයට ඉදිරිපත් කිරීමට පෙර ඒසදහා විරෝධතා ඇත්ද යන්න අසල්වාසීන් සමග සාකච්චා කොට විසදා ගැනීමේ අවස්ථාව ඉදිකිරීම් සිදුකරන සමාගමට මෙහිදී ලබාදී තිබේ.

නිවාස සහ ව්‍යාපාර ආශ්‍රිත ඉදිකිරීම් සරල අයදුම්පත් සමගින් ඉදිරිපත් වන අවස්ථා වලදී එම අයදුම්පත් ඉක්මනින් සලකා  බැලීම මෙම නව ක්‍රම වේදයේ  අරමුණ වී තිබේ. නමුත් මෙහිදී ගැටළු සහගත තත්වයන් ඇති විය හැකි බව කවුන්සිල වල මතය වී ඇති බව LGNSW (Local Government New South Wales ) සංවිධානයේ සභාපති Keith Rhoades පවසයි. මෙ මගින් අනතුරු දායක ඉදිකිරීම් ඉදිවීමේ අවධානමක් ඇති බවත්, අදාල ප්‍රදේශ වල අනන්‍යතාවයට හානි වන ඉදිකිරීම් බිහිවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.රජයේ මෙම යෝජනාව මගින් තම සංවිධානය යම් තරමකට එකග වුවත්, විශාල ඉදිකිරීම් සදහා ඉක්මන් අයදුම් පත් ක්‍රමවේදයක් හදුන්වා දීම සමගින් තමන් එකග නොවන බව Keith Rhoades මහතා පවසයි.  මෙම නව යෝජනා අනුව, එක නිවසක් පවතින ස්ථානයක කුඩා නිවාස (Town Houses ) ඉදිකිරීමට ඉදිකිරීම් සමාගම් වලට ඉතා පහසු ඉඩකඩක්  ලැබෙන බව ඔහුගේ මතය වී තිබේ.

2036 වන විට මිලියන 1.7 කින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ජනගහනය වැඩි වන බව එම ප්‍රාන්ත සැලසුම් පිළිබද  ඇමති Rob Stokes පවසයි. ඒ සදහා සුදානම් වීමේ අරමුණින් මෙම නව යෝජනාව තම රජය ඉදිරිපත් කල බව ඔහු සදහන් කරයි.
තවද මීලග අවුරුදු 5 තුල නිවාස ලක්ෂ දෙකක් ප්‍රාන්තය තුල ඉදිකිරීමට කටයුතු කරන බව මීට පෙර නිව් සවුත් වේල්ස් රජය ප්‍රකාශ කර තිබිණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ මෙම නව යෝජනා පිලිබදව අදහස් දක්වන කම්කරු පක්ෂය පවසන්නේ, ඉදිකිරීම් සදහා පවතින අයදුම් පත් ක්‍රමවේදයේ කිසිදු ගැටළුවක් නොමැති බවයි. අයදුම් පත් සදහා අනුමැතිය ලැබුණු පසු ඉදිකිරීම් කරගෙන යාමට විවිධ දුෂ්කරතා පවතින බව කම්කරු පක්ෂය වැඩි දුරටත් පවසයි.

කෙසේ වෙතත් මෙම නව සංශෝධන මහජනතාවගේ අදහස් සදහා මාර්තු 10 වැනිදා තෙක් විවෘත බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Share
Published 10 January 2017 6:53am
Updated 10 January 2017 7:38am
By Sanjaya Dissanayake


Share this with family and friends