ඔබත් සතියකට පැය 39 ඉක්මවා වැඩ කරනවාද? එසේනම්, ඔබේ සෞඛ්‍යයත් අවදානමක. (SBS සිංහල/වාර්තා)

මෙම පර්යේෂණයට ඔස්ට්‍රේලියානුවන් 7800 ක් පමණ සහභාගී කරවාගෙන ඇති අතර පිරිමි හා ගැහැණු දෙපාර්ශවයේම මානසික සෞඛ්‍යයට පීඩනය ගෙන දෙන ප්‍රධාන ලක්ෂ්‍යයක් ලෙස මෙම පැය 39 සොයාගෙන තිබේ.

Long working week can harm health

Source: Press Association

සතියකට පැය 39 ඉක්මවා සේවය කිරීම, ඔබේ සෞඛ්‍යයට හානිකරන බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් සොයාගෙන ඇත.

මෙම පර්යේෂණයට ඔස්ට්‍රේලියානුවන් 7800 ක් පමණ සහභාගී කරවාගෙන ඇති අතර පිරිමි හා ගැහැණු දෙපාර්ශවයේම මානසික සෞඛ්‍යයට පීඩනය ගෙන දෙන ප්‍රධාන ලක්ෂ්‍යයක් ලෙස මෙම පැය 39 සොයාගෙන තිබේ.

නමුත් ගෙදර දොර සහ දරුවන්ගේ වැඩ කටයුතු ද සිදු කරන කාන්තාවන්ගේ එම ලක්ෂ්‍යය පැය 34 වන බවද පැවසේ.

පිරිමි පාර්ශවයේ සෞඛ්‍ය කඩ ඉම පැය 47 ක් වන අතර ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ට සේවයෙන් පරිබාහිරව වගකීම් අඩු වීමය.

මීට වසර 80 කට පමණ පෙර ජාත්‍යන්තර කම්කරු සංවිධානය සේවකයෙකුට සතියකට සීමා කළ පැය 48 සීමාව යල් පැන ගොස් ඇති හෙයක් මෙම නිගමනයන්ට අනුව පෙනී යන බව පර්යේෂිකා මහාචාර්ය Lyndall Strazdins පැවසුවාය.

එවැනි සීමාවකට ගොස් ඇත්තේ එකල සේවා ස්ථාන පුරුෂ මූලික වූ බැවින් බවද ඇය පැහැදිලි කරයි.

මෙම සේවා පැය ගණන පිළිබඳ වත්මන් සමාජයේ සේවා යෝජකයින්, රජය සහ සේවකයින් යන සියලු දෙනා ජාතික සංවාදයකට එළඹිය යුතු බව ද ඇය අවධාරණය කළාය. විශේෂයෙන්ම බොහෝ සේවා ස්ථාන වල සේවකයින් හට පැය 8 කට වඩා සේවය් කිරීමට සිදුවීම ඊට එක් ප්‍රධාන හේතුවක් බව ද ඇය පවසයි.

Fair Work Australia මගින් ඔස්ට්‍රේලියාව තුළ සතියකට සේවය කළ යුතු පැය ගණන 38 ක් ලෙස නිර්දේශ කර තිබෙන නමුත් ඊට වඩා වැඩි පැය ගණනක් මිනිසුන්ව සේවයේ යෙදවීමෙන් අඩු ඵලදායිතාවක් සමග අප ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳව Lyndall Strazdins ප්‍රශ්න කරයි.

“මෙය සංකීර්ණ සමාජ ගැටළුවක්. මේ පිළිබඳ බොහෝ සංවාද ඇතිවී තිබෙනවා. කුඩා පියවරකින් විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්. අපි කිසිම දෙයක් නොකළහොත් මේ තතත්වය වඩාත් බරපතල වීමට පුළුවන්.” මහාචාර්ය Lyndall වැඩි දුරටත් පැහැදිලි කළාය.

මෙම අධ්‍යනයට අනුව පිරිමින් සතියකට සේවය කරන පැය ප්‍රමාණය සාමාන්‍යයෙන් 44ක් බවත් තවත් 21ක් ගෙදර දොර වැඩ කටයුතු සඳහා යොදවන බවත් පෙනී ගොස් තිබේ. කාන්තාවන්ගේ එම ප්‍රමාණය පිළිවෙලින් 33 හා 31 වේ.

ඉතා ඉහළ වැටුපක් ලබා ගන්නා කළමණාකරුවන් සහ වෘත්තීයවේදීන් සතියකට සාමාන්‍යයෙන් පැය 49 ක් වැනි දීර්ග පැය ගණනක් සේවය කරයි.

පැය 48 ක් සතියකට වැඩ කිරීම සේවා ස්ථානයෙන් පිටත අනෙකුත් කටයුතු හා වගකීම් ඉටු කිරීමට නොමැති පුද්ගලයින් හට ගැටළුවක් නොවන බවද පැවසේ.

නමුත් සමස්තයක් වශයෙන් ගත් කළ සතියකට පැය 34.5ක ප්‍රමාණයට වඩා වැඩිපුර සේවය කිරීම මිනිසුන්ව පීඩාවට හා වියැකීමට පත් කරයි.

දැනට පවතින සේවා පැය නියාමනය මගින් කාන්තාවන්ගේ සෞඛ්‍ය හෝ රැක බලාගනීම් සිදු කරන අනෙකුත් වැඩිහිටියන් ගේ සෞඛ්‍ය ආරක්ෂා නොවන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් තම අධ්‍යන වාර්තාවේ සඳහන් කර තිබේ.

Share
Published 2 February 2017 11:07pm
Updated 2 February 2017 11:12pm
By Madhura Seneviratne
Source: AAP, SBS News


Share this with family and friends