උත්සව සමයේ පමණට වඩා ආහාර ගන්නා ඔබට SBS සිංහල වෙතින් කෙටි මාර්ගෝපදේශනයක්.(SBS සිංහල/ වාර්තා)

ඔබ ගන්නා ආහාරය සුළු වශයෙන් ලබාගෙන එය සෙමින් රස විඳින්න. පසුව එහි රසය ඔබේ දිවට හා මනසට ක්‍රම ක්‍රමයෙන් ලබාගන්න. ඉන අනතුරුව ප්‍රමාණය ඉක්ම නොයා එම ආහාරය ලබා ගැනීම නවත්වන්න.

Tips on How to have an affordable green Christmas

Source: www.food-photo.xyz

නත්තල් සහ අවුරුදු සමය හේතුවෙන් සෑම පුද්ගලයෙකුම පාහේ ආහාර පාන සමග වැඩි ගණුදෙනු සිදු කරයි. එනිසාවෙන්ම අප දැනුවත්ව හෝ නොදැනුවත්ව පමණට වඩා ආහාරද පාන වර්ගද නිරතුරුව මෙම කාලයේදී ගනු ලබයි.

නමුත් මෙය ඔබේ සෞඛ්‍යයට එතරම් සුබදායි කරුණක් නොවන බවද මතක තබා ගත යුතුය.

කෙසේවෙතත් උත්සව සමය නිමාව දකින මේ කාලයේදී ඔබේ සෞඛ්‍යය හා ඔබේ බර පිළිබඳ සිතන්නට තවමත් ඔබ ප්‍රමාද නොමැති බව පෝෂණවේදීනී Catherine Saxelby පවසයි.

පහත දැක්වෙන්නේ මෙම උත්සව කාලයේදී සහ ඉන් අනතුරුව ඔබ ආහාර පාන සමග ගණුදෙනු කිරීමේදී ඇය විසින් සඳහන් කළ සැළකිලිමත් වියයුතු කරුණු කිහිපයකි.

01. ප්‍රමාණයට වඩා තත්ත්වය

ඔබට ආහාර පිළිගන්වන සෑම මොහොතකදීම එහි ප්‍රමාණයට හා රසයට වඩා එහි ගුණාත්මක භාවය පිළිබඳ අවධානය යොමු කරන්න.

ගුණාත්මක නැති ආහාර බොහෝ ප්‍රමාණයක් ගන්නවාට වඩා ගුණාත්මක අහර ස්වල්පයක් ගැනීම ඉතා යෝග්‍ය බව පෝෂණවේදීනී Catherine Saxelby පවසයි.

 

02. සෙමෙන් ආහාර ගන්න. එය විඳින්න. පසුව හැර යන්න.

අප යම් ආහාරයක් ආහාරයට ගන්නා විට රස වැටුනහොත් එය දිගින් දිගටම සීමාවක් නොමැතිව ආහාරයට ගන්නා බව Catherine Saxelby පවසයි.

උදාහරණයක් ලෙස තමන් කජු වර්ග ආහාරයට ගැනීමට ඉතා ප්‍රිය කරන බව Catherine සඳහන් කරයි. නමුත් එය දිගින් දිගටම ආහාරයට ගැනීම නුසුදුසු බවද ඇය පවසයි.

එවැනි අවස්ථාවකදී එම ආහාර, පාලනය කරගැනීමට සුළු ක්‍රමෝපායක් ඇය පෙන්වා දෙයි.

Catherine පවසන පරිදි , ඔබ ගන්නා ආහාරය සුළු වශයෙන් ලබාගෙන එය සෙමින් රස විඳින්න. පසුව එහි රසය ඔබේ දිවට හා මනසට ක්‍රම ක්‍රමයෙන් ලබාගන්න. ඉන අනතුරුව ප්‍රමාණය ඉක්ම නොයා එම ආහාරය ලබා ගැනීම නවත්වන්න. මන්ද ඔබ එම ආහාරය දැනටමත් රස විඳ අවසන් බැවිනි.

3. බුෆේ වලින් ප්‍රවේශම් වන්න.

ලොව ඇති අවසන් ආහාර වේල යැයි සිතා මෙන් මිනිසුන් බුෆේ වලින් ආහාර බෙදා ගනු ලබන බව පෝෂණවේදීනී Catherine Saxelby පවසයි.

බොහෝ පුද්ගලයින් තම පිඟන් වලට කඳු මෙන් විවිධ ආහාර වර්ග බෙදා ගනු ලබයි.

බුෆේ එකකදී තමන් අනුගමනය කරන පිළිවෙත Catherine Saxelby පවසන්නේ මේ ආකාරයෙනි.

“පළමුවෙන්ම මම මගේ පිඟාන රැගෙන බුෆේ එක වටේ ගොස් මම කැමති ආහාර වර්ග පිළිබඳ නිරීක්ෂණය කරනවා. පසුව මම වඩාත්ම කැමති ආහාර වර්ග කිහිපය සුළු වශයෙන් පිඟානට බෙදාගෙන රස විඳිනවා. ඒ අතර මම එම ආහාර වලින් වඩාත්ම කැමති වර්ග මොනවාදැයි තීරණය කරනවා. ඉන් අනතුරුව මම වඩාත්ම කැමති ආහාර වර්ග පමණක් ප්‍රමාණයට සරිලන පරිදි බෙදාගන්නවා.”

ඔබ බුෆේ එකට වැය කළ මුදල් ප්‍රමාණය ගැන සිතා එම මුදල් ප්‍රමාණයට සරිලන ලෙස ආහාර ලබාගන්නවා යන චේතනාවෙන් මිදෙන ලෙසද ඇය පවසයි. එසේ නොවුනහොත් එයට වන්දි ගෙවීමට සිදු වන්නේ ඔබේ ඉණට බව ද ඇය පෙන්වා දෙයි.

4. ඔබේ බීම ගැන අවධානය යොමු කරන්න.

නත්තල් සමයේදී ඔබේ බර වැඩි කිරීමට ඇල්කොහොල් වලට වැඩි කාර්යභාරයක් පවතියි.

මෙමගින් ඔබ නොදැනුවත්වම ලුණු සහ මිරිස් සහිත ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්නා බව පෝෂණවේදීනී Catherine Saxelby පෙන්වා දෙයි.

මේ නිසා ඔබ මත් පැන් පානය කරන කෙනෙක්නම් පානය කිරීමට පෙර ඔබේ සීමාව අවබෝධ කරගෙන එම සීමාවෙන් එහා නොයාමට වග බලාගන්න.

මත් පැන් පානය කරන විට සැර බාල මත් පැන් වර්ග තෝරා ගැනීම සහ අයිස් වලින් හෝ පිරිසිදු ජලයෙන් එය තනුක කිරීම වැදගත් බව ඇය පවසයි.

5. ඇතැම් ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

නත්තල් සමයේදී හා ඉන් අනතුරුවද ශාරීරික අභ්‍යාස වල යෙදීමට අමතක නොකරන්න.

ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව ගනු ලැබූ ආහාර පාන වලින් ඔබේ ශරීරයේ තැන්පත් වූ අමතර මේදය ඉවත් කිරීමට සුදුසුම ක්‍රමය නම් දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් ව්‍යායාම් කිරීම බව ද ඇය පෙන්වා දෙයි.

නත්තල් සාමය ඇතුළු සියලු උත්සව සමයන් වලදී ඔබට අවශ්‍ය ප්‍රමාණයට ආහාර පාන ලබා ගන්නා මෙන් Saxelby උපදෙස් දෙයි.

එවිට ඔබේ සිරුර හා සෞඛ්‍ය පිළිබද අනියත බියක් ඇති කරගැනීමට සිදු නොවන බවද ඇය අවධාරණය කරයි.


Share
Published 3 January 2017 12:33am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends