අනතුරු ඇඟවීමයි : අවන්හල්, ආපන ශාලා, කොණ්ඩා සහ රූප ලාවන්‍යාගාර හදිසියේ වටලන්න ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සූදානම්. (SBS සිංහල/වාර්තා)

කර්මාන්ත ක්ෂේත්‍ර 233 ක් පුරා මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර (වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 15 ට අඩු) මිලියන 1.6 ක් මෙසේ නීතිවිරෝධීව අත්පිට මුදල් ගණුදෙනු සිදු කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

Cafes, Restaurants

Source: The Age

ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන අවන්හල්, ආපන ශාලා, කොණ්ඩා සහ රූප ලාවන්‍යාගාර 400 කට පමණ ඔස්ට්‍රේලියානු බදු කාර්යාල නිලධාරීන් හිටි අඩියේම පැමිණීමට නියමිත බව වාර්තා වේ.

නීති විරෝධීව අත්පිට මුදලට ව්‍යාපාර කිරීම් වැටලීම මෙවැනි සංචාර වල අරමුණ බව සඳහන්.

මෑත වසර වල සිට ඔස්ට්‍රේලියාවේ ඉහළ අවදානම් කර්මාන්ත වල ඇති සුළු පරිමාණ ව්‍යාපාර වල සිදු කෙරෙන නීති විරෝධී අත්පිට මුදල් ගනුදෙනු සම්බන්ධව විගණනය කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙල්බන්, සිඩ්නි, ගෝල්ඩ් කෝස්ට් සහ ඇඩිලේඩ් ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පිහිටි ඉහත ආකාරයේ ව්‍යාපාර වෙත ආසියානු භාෂා දැනුමක් ඇති ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයීය නිලධාරීන් සංචාරය කිරීමට නියමිතය.

පර්ත් සහ කැන්බරා ලැයිස්තුවේ ඊළඟට ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tom Wheeler පැවසීය.

කර්මාන්ත ක්ෂේත්‍ර 233 ක් පුරා මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර (වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 15 ට අඩු) මිලියන 1.6 ක් මෙසේ නීතිවිරෝධීව අත්පිට මුදල් ගණුදෙනු සිදු කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

නිවැරදිව ආදායම වාර්තා නොකිරීම හේතුවෙන් අත්පිට මුදලට පමණක් ගනුදෙනු කරන ව්‍යාපාර සතුව ඉහළ අවදානමක් ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tom Wheeler පැවසීය.

“මෙවැනි කර්මාන්ත අපගේ රේඩාර් පථයට හසුවී අවසානයි. මොකද ඔවුන් අත්පිට මුදලට පමණක් ගනුදෙනු කරන නිසා. මෙය ප්‍රධාන අවදානම්  ප්‍රකාශකයක්.” ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන කොණ්ඩා සහ රූප ලාවන්‍යාගාර ව්‍යාපාරවලින් අඩකටත් වඩා (58%)  පමණ ගනුදෙනු කරනුයේ අත්පිට මුදලට පමණක් බවත් අවන්හල්, ආපන ශාලා, takeaway සහ catering  කර්මාන්ත වලින් 45% ක් පමණද එම ඝනයට වැටෙන බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

එම ව්‍යාපාරවලට අමතරව වඩු වැඩ සහ විදුලිය සේවා, ගොඩනැගිලි ද්‍රව්‍ය, මාර්ගස්ථ භාණ්ඩ ප්‍රවාහනය සහ කසළ බක්කි මෙහෙයවීම හා සුද්ධ පවිත්‍ර කරන්නන් යනාදී ක්ෂේත්‍ර ද  ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ අවදානයට යොමුව පවතින බව වාර්තා වේ.

2015 – 2106 සමයේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විගණන 15,000 ක් සිදු කරමින් අත්පිට මුදලට ගනුදෙනු කරන ව්‍යාපාර 127,000 ක් නිරීක්ෂණය කළ අතර එමගින් ඩොලර් මිලයන 208 ක දඩ මුදල් ප්‍රමාණයක් පැනවූ බව සඳහන්.

ප්‍රථමයෙන්ම, අදාළ ව්‍යාපාරවලට බදු ක්‍රමයට ව්‍යාපාර කිරීමේ වාසි සහ අදාළ ක්‍රමය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් පැහැදලි කර දෙන අතර ඔවුන් දිගින් දිගටම එම උපදෙස් පිළි නොපදින්නේ නම් ඉහත අයුරින් විගණනය කර දඩ මුදල් නිකුත් කරයි.

“මෙමගින් අපට අවශ්‍ය කර ඇත්තේ කූඨ වෙළෙඳුන්ගෙන් අවංක ව්‍යාපාරකයින් බේරා ගැනීමයි.” ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tom Wheeler පැවසීය.

Share
Published 8 March 2017 10:14am
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends