Breaking news: වික්ටෝරියානු නිවාස වෙළෙඳ පොළ උඩු යටිකුරු කළ ප්‍රාන්ත රජයේ සියලුම තීරණ මෙන්න. (SBS සිංහල/වාර්තා)

පළමු වරට නිවසක් මිලට ගන්නා අයට මුද්දර ගාස්තුව අහෝසියි. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පළමු නිවසට රජයෙන් ලබා දෙන ඩොලර් 10,000 වෙනුවට ඩොලර් 20,000 ක්.

Victorian stamp duty changes aimed at making housing more affordable for first-time buyers

Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ පළමු වරට නිවාස දේපළක් මිලට ගන්නා පුද්ගලයින් හට ඒ සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තුව එළඹෙන ජූලි මස සිට අහෝසි කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. නමුත් මෙය අදාළ වන්නේ මිලට ගනු ලබන නිවාස දේපළෙහි වටිනාකම ඩොලර් 600,000 කට වඩා අඩු වටිනාකමකින් යුත් දේපළ හටය. එසේම මෙම වරප්‍රසාදය නවීන සහ පැරණි යන නිවාස වර්ග දෙකටම හිමිවෙයි.

එසේම එළඹෙන ජූලි මස සිට ඩොලර් 600,000 සහ 750,000 අතර තක්සේරු පරිමාණයක දේපළ මිලට ගැනීමේදී ද මෙම මුද්දර ගාස්තු සඳහා යම්කිසි වට්ටමක් හිමිවනු ඇති.

තමන්ගේ පළමු නිවාසය මිලට ගන්නා වික්ටෝරියානුවන් 25,000 කට පමණ මෙම මුද්දර ගාස්තු සංශෝධනය උපකාරී වන බව වික්ටෝරියානු ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas පැවසීය. මෙම මුද්දර ගාස්තු අහෝසි කරලීම තුලින් එම 25,000 ක් දෙනා හට වාර්ෂිකව ඩොලර් 8,000 ක පමණ ඉතිරියක් වන බවද තක්සේරු කොට ඇත.

“නිවාස හිමි කරගැනීමේ හැකියාව අපි නිරන්තරයෙන්  පරීක්ෂාවට ලක් කරනවා. ”  Tim Pallas වැඩි දුර පැවසීය.

“බොහෝ පුද්ගලයින් මාළිගාවල් ගැනීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඉනිමගේ පලවෙනි පඩියට අඩිය තියන්න. එතකොට ඔවුන්ටම කියල හිසට සෙවනක් ලබා ගන්න පුළුවන්. එනිසා ඔවුන්ට ඔවුන්ගේ පවුලේ අනාගතය සැලසුම් කරන්නට පුළුවන්.”  වික්ටෝරියානු ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas තව දුරටත් පැහැදිලි කළේය.

නිවාස වෙළෙඳ පොළට පිවිසෙන්නට අපට තරුණ යුවල වලට සහයෝගය දීමට මෙමඟින් හැකිවන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrus පැවසීය. කෙසේ නමුත් මෙලෙස මුද්දර ගාස්තු අහෝසි කිරීමන් ඩොලර් 25,000 ක් දක්වා මුදලක් ඉතිරි කර ගැනීමට ගැනුම්කරුවන් හට හැකි වන බව Daniel Andrews පැවසීය.

Owner Occupy නිවාස වලටත් ඉදිරියේදී සහන

මීට අමතරව ආයෝජන දේපළ සඳහාද මුද්දර සහන ගාස්තු අනාගතයේදී ඉවත් කෙරෙන බව වාර්තා වේ. එම සහනය  ලැබිය හැක්කේ අදාළ නිවසෙහි ඔවුන්ම පදිංචිව සිටීමට අපේක්ෂා කරන අය හටය. (owner occupy)

පළාත්බද නිවෙස් ගැනුම් කරුවන්ට රජය ලබාදුන් "ප්‍රථම නිවාස ගැනුම් වරප්‍රසාද දීමනාව" දෙගුණ කෙරේ

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක මුල් වරට නිවසක් මිලට ගන්නා අයට රජයෙන් මෙතෙක් ලාබාදුන් "ප්‍රථම නිවාස ගැනුම් වරප්‍රසාද දීමනාව" වන ඩොලර් 10,000 මුදල වෙනුවට ඩොලර් 20,000 ක මුදලක් පිරි නැමීමටද රජය තීරණය කර තිබේ.

නමුත් එම නිවසෙහි වටිනාකම ඩොලර් 750,000 ට වඩා අඩු විය යුතුය.

මධ්‍ය නගර වල පිහිටි හිස් වූ නිවාස වලට බද්දක්...

නිවාස ලබා ගැනීම තව දුරටත් දැරිය හැකි මට්ටමකට ගෙන ඒම සඳහා මෙල්බන් නුවර ඇතුළු හා මධ්‍ය නගර වල පිහිටි හිස් වූ නේවාසික දේපළ ඉලක්ක කරගනිමින් වික්ටෝරියානු රජය 1% ක බද්දක් පැනවීමට ද ඉදිරියේදී කටයුතු කරනු ඇත.

හිස්වූ නේවාසික දේපළ කුලියට දීමට හෝ අලෙවි කිරීමට ඒවායේ හිමිකරුවන්ව මෙමගින් උනන්දු කෙරේ. එහෙත් අදාළ දේපළ, නිවාඩු නිකේතනයක් නම් හෝ deceased estate එකක් නම් හෝ හිමිකරු විදේශයක නම් හෝ ඒවා බද්දෙන් නිදහස් කෙරේ.

“ඉල්ලුමට අඩුවෙන් සැපයීම් කරන වෙළෙඳ පොළ නොසළකා හරින ක්‍රියාකාරී ලෙස බැංකු ගනුදෙනු කරන හිස්වූ දේපළ හිමි පුද්ගලයින් හට මෙමගින් දැඩි පණිවිඩයක් ලබා දෙනවා.” වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

“ඔබට එක්කෝ බදු ගෙවන්න පුළුවන් නැත්නම් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු මුණ ගැසෙන්න පුළුවන්” Daniel Andrews වැඩිදුරටත් පැවසීය.

අඩු නිවාස සැපයුමක් ඇති බැවින් මුද්දර ගාස්තු අඩු කිරීම ඵලක් නොවේ.

අඩු නිවාස සැපයුමක් තිබෙන නිසා මෙසේ මුද්දර ගාස්තු අහෝසි කිරීම විශාල වෙනසක් නොකරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Matthew Guy පැවසීය.

“මිලදී ගන්න ප්‍රමාණවත් තරමේ නිවාස නැතිනම් මුද්දර ගාස්තු සැලකිය යුතු කරුණක් නෙමෙයි. වෙළෙඳ පොළට අවශ්‍ය තරමේ සැපයුමක් ප්‍රාන්ත රජය විසින් ගෙනවිත් නැහැ. මේ හේතුන් නිසා මෙල්බන් මධ්‍යම ව්‍යාපරික දිස්ත්‍රික්කයේ (Melbourne CBD) සිට කිලෝ මීටර් 20 ක දුරින් ස්ථානයක් සොයා ගන්න මුල්වරට නිවසක් මිලට ගන්නා පුද්ගලයෙකුට අපහසු වී තිබෙනවා.” Matthew Guy වැඩි දුර පැවසුවේය.

සම හිමිකාරීත්ව සැලසුම.

නිවාස දේපළක උගස් ගෙවීම් (mortgage payments) දරාගත හැකි නමුත් මූලික ගෙවීම (down payment) දරා ගත නොහැකි පුද්ගලයින් හට වික්ටෝරියානු ප්‍රාන්ත රජය මෙම නව වැඩ පිළිවෙල යටතේ සම හිමිකාරීත්ව සැලසුමක් එළි දක්වා තිබේ.

මෙහි නියමු ව්‍යාපෘතිය ඩොලර් මිලියන 50ක වටිනාකමකින් යුක්ත වේ. ඒ යටතේ ප්‍රාන්ත රජය මගින් නිවාස 400 ක් දක්වා මිලට ගැනෙනු ඇති අතර එම දේපලවලින් 25% ක හිම්කරීත්වයක් ලබා ගනියි.

නිවාස ගැණුම් කරුවන් හට සුළු මූලික ගෙවීමක් සිදු කර වෙළෙඳ පොළට ඇතුළත් වීමට ඉඩ සැලසීම මෙහි අරමුණ වෙයි.

මෙම හිමිකම සඳහා සුදුසකම් ලැබීමට නම් යුවලකට වසරකට ඩොලර් 95,000 ක ආදායමක් තිබිය යුතු වන අතර තනි පුද්ගලයෙකුට වසරකට ඩොලර් 75,000 ක ආදායමක් තිබිය යුතු වෙයි.

අඩු සහ මධ්‍යම ආදායම් ලාභී පවුල් වලට නිවාස වෙළෙඳ පොළට අඩිය තැබීමට shared equity scheme වෙත ඩොලර් මිලියන 5 ක ප්‍රතිපාදන සැපයීමට ද ප්‍රාන්ත රජය සූදානම් බව වාර්තා වේ.

රජය විසින් නායකත්වය සපයන නාගරික පුනර්ජනනීය වැඩසටහන් වල සියලු දේපළ වල අවම වශයෙන් 10% ක හිමිකාරීත්වය Arden සංවර්ධන ව්‍යාපෘතිය මෙන් පළමු වර ගැනුම්කරුවන් හට ලබා දෙයි.

මෙම සැලසුම යටතේ අක්කර 56 ක ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට නියමිත අතර පුද්ගලයින් 15,000 දෙනෙකු පමණ එහි පදිංචි කිරීමට අපේක්ෂිතය. එම ප්‍රමාණය අතරින් මුල් වරට නිවාස හිමිකරුවන් 1500ක් පමණ සිටින බව ප්‍රාන්ත රජය පවසයි.

මෙල්බන් නුවර තවත් නව නගර 17 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඒවායේ නිවාස 100,000 ක සැලසුමක් පිළිබදවත් පසුගිය සතියේ නිවේදනය කළේය.

************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*************************************************************************************************


Share
Published 5 March 2017 11:44pm
Updated 12 August 2022 3:59pm
By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends