ඔබේ වාර්ෂික Tax Claim එකේදී ඉදිරිපත් කළ හැකි සහ නොකළ හැකි වියදම් මෙන්න. (SBS සිංහල/වාර්තා)

තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන් ලෙස ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇතැම් සිසුන් හට ඔවුන්ගේ අධ්‍යාපනය නිමාවූ පසු හෝ අධ්‍යාපනය හදාරමින් පවතින විට අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රයේම රැකියාවක් ලැබුණු විට එම අධ්‍යාපන කටයුතු සඳහා සිදු කළ වියදම් ඔබට ඉදිරිපත් කළ නොහැකි බව රිචඩ් ද සිල්වා මහතා පවසයි.

Eligible Tax Deductions in your Annual Tax Claim.

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ බදු ගෙවන්නෙකු නම් මේ දිනවල ඔබේ Annual Tax Claim හෙවත් වාර්ෂික බදු සැකැස්ම අවසන් කර එය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට යොමු කිරීමට පියවර ගන්නවා විය හැකිය.

ඇතැම් උදවිය එය දැනටමත් අවසන් කර තිබෙනවාත් විය හැකිය.

කෙසේනමුත්, මෙහිදී තමන්ගේ වාර්ෂික ආදායම් වලට එරෙහිව දක්වන වියදම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් දැනුවත්ද?

ඔබේ වාර්ෂික බදු සැකැස්මේදී ඔබට ඉදිරිපත් කළ හැකි සහ නොහැකි වියදම් පිළිබඳව මෙම ලිපියෙන් දැනගනිමු.

Tax Deduction එකක් යනු කුමක්ද?

වැටුප්, පොළී මුදල්, කුලී මුදල් සහ ආයෝජන වලින් ලැබෙන ලාභය වැනි අපගේ වාර්ෂික බදු සහිත  ආදායම අඩුකිරීම සඳහා අපට භාවිත කළ හැකි වියදම් සාමාන්‍යයෙන් Tax Deduction එකක් යනුවෙන් හැඳින්වේ.

අනෙක් වැදගත් කරුණ වන්නේ එම වියදම් අපගේ ආදායමට සෘජුවම සම්බන්ධ විය යුතු වීමය.

එමෙන්ම අපගේ සේවා යෝජකයාගෙන් හෝ වෙනත් ආයතනයකින් හෝ එම වියදම් නැවත ලබාගෙන නොතිබිය යුතුය.

මෙම කරුණු ද්විත්වය සම්පූර්ණ වනවානම් අපගේ වාර්ෂික බදු ආදායමට එරෙහිව අදාළ වියදම් අඩු කිරීමට අපට හැකි වෙයි.

ඔස්ට්‍රේලියාවේ බදු නීතියට අනුව අපට ඉදිරිපත් කළ හැකි වියදම් වර්ග මොනවාද?

මෙල්බන් නුවර බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා පවසන පරිදි මෙය තරමක් පුළුල් පරාසයක විහිදෙන මාතෘකාවක් වුවද ප්‍රධාන අංග කිහිපයක් පහසුවෙන් ඉදිරිපත් කළ හැකිවේ.

1. වාහන හෝ ගමනාගමන වියදම්

ඔබට ඔබේ වාර්ෂික බදු සැකසීමේදී වාහන වියදම් හෝ ගමනාගමන වියදම් දැක්විය හැකි බව සිල්වා මහතා පවසයි.

නමුත් මෙහිදී අපගේ වාහනය අප රාජකාරී කටයුතු සඳහා භාවිත කළ යුතු වන අතර දෛනිකව නිවසේ සිට වාහනයෙන් කාර්යාලයට යාමවත් නැවත කාර්යාලයේ සිට නිවසට ඒමවත් සඳහන් කළ නොහැකිය.

වාහන වියදම් දැක්වීමේදී බොහෝ අය “මම වැඩට යන්නේ කාර් එකෙන්, එහෙනම් මට ඒකට Tax Claim කරන්න පුළුවන්” කියා පවසයි.

නමුත් මෙය මුළුමනින්ම වැරදි බව රිචඩ් ද සිල්වා මහතා පවසයි.

ඔබ රාජකාරියට වාර්තා කළ පසු ඔබගේ වාහනය රාජකාරී කටයුතු සඳහා භාවිත කිරීමට සිදුවනවානම් එම තත්ත්වය මත අදාළ වියදම් ඔබට ඉදිරිපත් කිරීමට හැකියාව පවතියි.

උදාහරණයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉංජිනේරුවෙකු තම කාර්යාලයට වාර්තා කිරීමෙන් අනතුරුව තමන්ට නියමිත ඉදිකිරීම් වැඩ බිම් වලට නිරීක්ෂණ චාරිකාවල යෙදීමට තම වාහනය භාවිතා කිරීම වැනි අවස්තාවන් දැක්විය හැකිය.

මීට අමතරව තමන්ගේ රාජකාරිය සඳහා අවශ්‍ය උපකරණ, යන්ත්‍ර තම වාහනයේ පටවගෙන නිවසේ සිටම සැරසී පිටත්වන අවස්ථාවන් හිදී ඔබට ඔබගේ වාහන වියදම් දැක්විය හැකිවේ.

උදාහරණයක් ලෙස  ජල නල කාර්මිකයෙකු සිය ආම්පන්න සියල්ලම තමන්ගේ වාහනයේ දමාගෙන පෙරවරුවේ නිවසෙන් පිටත් වන අවස්ථාවේ සිටම වාහනය හා සම්බන්ධ වියදම් ඔබට ඔබගේ වාර්ෂික බදු සැකැස්මේදී ඔබට ඉදිරිපත් කළ හැකිය.

2. සේවා ස්ථානයට අඳිනු ලබන නිල ඇඳුම්.

සේවා ස්ථානයට අඳිනු ලබන ඇඳුම් සඳහා යන වියදමද අපට අපගේ වාර්ෂික බදු සැකැස්මේදී ඉදිරිපත් කළ හැකි බව සිල්වා මහතා පවසයි.

මෙහිදී පැති දෙකක් ඇති බව ඔහු පවසයි.

පළමුවැන්නට අනුව ඔබ සේවය කරනු ලබන සේවා ස්ථානයේ ඇති නිල ඇඳුම් ඔබේ සේවා යෝජකයා ඔබට ලබා දෙනවා විය හැකිය.

එවැනි අවස්ථා වලදී ඔබට ඒවා මිලට ගැනීමට සිදු වනවානම් එම වියදම් ඔබට ඔබගේ වාර්ෂික බදු සැකැස්මේදී ඉදිරිපත් කළ හැකිය.

නමුත් එසේ සේවස්ථාන වලින් ලබා නොදෙන නමුත් ක්ෂේත්‍රයේ පිළිගැනීමක් ඇති සේවා ස්ථාන ඇඳුම් මිලට ගතහොත් ඒවාට යන වියදම් ද ඔබට ඔබගේ වාර්ෂික බදු සැකැස්මේදී ඉදිරිපත් කළ හැකි වීම දෙවැන්න වේ.

උදාහරණයක් ලෙස අරක්කැමියෙකුගේ (Chef) කලිසම, වෛද්‍යවරයෙකුගේ කෝට් එක දැක්විය හැකිය.

3. Protective Clothing

ඊට අමතරව අපගේ රාජකාරී කිරීමේදී ආරක්‍ෂිත ඇඳුම් - පැළඳුම් (Protective Clothing) භාවිත කිරීමට අපට සිදුවේනම් ඒවාට යන වියදම්ද අපට පෙන්විය හැකි බව  බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා පවසයි.

උදාහරණ ලෙස Working Boots, Goggles, Sunglasses, Gloves, Sunscreen etc.

මීට අමතරව අප රාජකාරී කටයුතු සඳහා භාවිතා කරනු ලබන සියලුම ඇඳුම් සඳහා සේදීමේ පහසුකම් හෙවත් Laundry පහසුකම් සඳහා යන වියදම්ද අපට ඉදිරිපත් කළ හැකි බව සිල්වා මහතා පෙන්වා දෙයි.

නමුත් මෙය සාධාරණ විය යුතු බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් ලබා දී ඇති මාර්ගෝපදේශන වලට අනුව එම වියදම් ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පවසයි.
Protective Clothing
Source: Shutterstock

4. Work Related Self Education

Work Related Self Education හෙවත් රාජකාරියට සම්බන්ධ ස්වයං අධ්‍යාපනය සඳහා යන වියදම් ද ඔබට ඔබගේ වාර්ෂික බදු සැකැස්මේදී ඉදිරිපත් කළ හැකි බව සිල්වා මහතා පෙන්වා දෙයි.

අපගේ ආදායම් මාර්ගය වැඩි දියුණු කරගැනීමට අප යමක් ඉගෙන ගන්නවානම් ඒ සඳහා යන වියදම් අපට ඉදරිපත් කළ හැකිවේ.

එසේ නොමැති කල අපට අපගේ ආදායම් මාර්ගය නොකඩවා පවත්වාගෙන යාමට යම් පාඨ මාලාවක් හැදෑරීමට අවශ්‍යනම් ඒ සඳහා යන වියදම්ද අපට ඉදරිපත් කළ හැකිවේ.

මෙම ක්‍රම දෙකට අමතරව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් වෙනත් කිසිදු ක්‍රමයකට අවසර ලබා දී නොමැති බවද පැවසිය යුතුය.

තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන් ලෙස ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇතැම් සිසුන් හට ඔවුන්ගේ අධ්‍යාපනය නිමාවූ පසු හෝ අධ්‍යාපනය හදාරමින් පවතින විට අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රයේම රැකියාවක් ලැබුණු විට එම අධ්‍යාපන කටයුතු සඳහා සිදු කළ වියදම් ඔබට ඉදිරිපත් කළ නොහැකි බව රිචඩ් ද සිල්වා මහතා පවසයි.
Work Related Self Education
Source: Flickr
නමුත් යම් අයෙකු ඔස්ට්‍රේලියාවට රැකියාවක් සඳහා සංක්‍රමණය වී රැකියාව කරන අතරතුර තමන්ගේ රාජකාරී තත්ත්වය උසස් කරගැනීමට යම් පාඨ මාලාවක් හදාරන විට එහිදී ඔවුන්ට අදාළ වියදම් ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.
නමුත් Work Related Self Education වියදම් වල පළමු ඩොලර් 250 තමන් දැරිය යුතු බවට ඔස්ට්‍රේලියානු බදු නීතියේ සඳහන් බවද ඔහු පැහැදිලි කරයි.
මීට අමතරව අප යම් ව්‍යාපාරයක් කරන විට හෝ අපගේ රාජකාරී වලදී භාවිත කරන ආම්පන්න, ලිපි ද්‍රව්‍ය, පරිගණක යනාදී දේවල් සඳහා යන වියදම්ද අපට ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

නමුත් මෙහිදී යම් වියදමක් ඩොලර් 300 කට වඩා වැඩි වූ විට ඒවා Depreciate කරමින් ඉදිරිපත් කළ යුතු වෙයි.

නමුත් එහිදී අදාළ භාණ්ඩය අප රාජකාරී කටයුතු සඳහා කොපමණ ප්‍රතිශතයක් සහ පුද්ගලිකව  කොපමණ ප්‍රතිශතයක් භාවිතා කරනවාද යන්න ගණන් බලා රාජකාරී කටයුතු සඳහා භාවිත කරන කොටසට වියදම් සකසයි.
මීට අමතරව ඇතැම් පුද්ගලයින් “Work from Home” යනුවෙන් තමන්ගේ නිවසේ සිට කාර්යාලයේ වැඩ කටයුතු කරන විටදී වැයවන විදුලිය, ගෑස්, ජල, අන්තර්ජාල පහසුකම් වැනි බිල් පත්වල යම් කොටසක් ඔබට ඉදිරිපත් කල හැකි බව රිචඩ් ද සිල්වා මහතා පවසයි.
නමුත් ඔබට එම නිවසේ කුලිය හෝ නිවාස ණය වාරිකය වියදමක් ලෙස ඉදිරිපත් කළ නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

එමෙන්ම ඔබ ඔබේ වාර්ෂික බදු සැකැස්ම සකස් කිරීමට ඔබේ ගණකාධිකරුවට හෝ බදු නියෝජිතයාට ගෙවනු ලබන මුදල ද ඔබට ඊළඟ වසරේ වියදමක් ලෙස ඉදිරිපත් කළ හැකිවේ.
Tax Deduction එකක් යනු ඔබේ Annual Tax Claim එක නොවන බවද වටහා ගත යුතු බව බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා පවසයි.
ඔබගේ Annual Tax Claim එක තීරණය කරනු ලබන්නේ ඔබට බලපාන ක්‍රියාත්මක බදු අනුපාතිකය බවද ඔහු පැහැදිලි කරයි.

Share
Published 13 August 2017 11:06pm
Updated 28 August 2017 4:03pm
By Madhura Seneviratne
Source: Australian Tax Office


Share this with family and friends