ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීමට ගිය තැපැල් ඡන්දය ශ්‍රේෂ්ඨාධිකරණය ළඟ නවතියි. (SBS සිංහල/වාර්තා)

ඩොලර් මිලියන 170 ක පිරිවැයක් යොදා පැවැත්වීමට නියමිත අනිවාර්යයෙන් ඡන්දය ලබා දිය යුතු ජනමත විමසුම සඳහා ලිබරල් සන්ධාන රජය අද (09/08) දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

Same Sex Marriage postal vote hits court hurdle.

Source: High Court Australia

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා ලිබරල් සන්ධාන රජය පැවැත්වීමට නියමිත අනිවාර්ය ජනමත විමසුම සහ ඊට පසුව ඉදිරිපත් කෙරුණු ස්වේච්ඡා තැපැල් ඡන්දය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවූ නිසා ප්‍රමාද වෙන ලකුණු වාර්තා වේ.

ඩොලර් මිලියන 170 ක පිරිවැයක් යොදා පැවැත්වීමට නියමිත අනිවාර්යයෙන් ඡන්දය ලබා දිය යුතු ජනමත විමසුම සඳහා ලිබරල් සන්ධාන රජය අද (09/08) දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

නමුත් කම්කරු පක්ෂය, ග්‍රීන්ස් පක්ෂය සහ  Nick Xenophon ගේ සෙනට් සභික කණ්ඩායම එක හෙලා එයට විරුද්ධ විය.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු මුල්‍ය අමාත්‍ය Mathias Cormann විසින් සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා ලිබරල් සන්ධාන රජයේ දෙවැනි සැලැස්ම ඉදරිපත් කළේය.

ඒ, ඩොලර් මිලියන 122 ක පිරිවැයකින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් මෙහෙයවන ස්වේච්ඡා තැපැල් ඡන්දයක් පැවැත්වීමය.
මෙම තැපැල් ඡන්දයේ ඡන්ද පත්‍රිකා සැප්තැම්බර් 12 වන දින සිට තැපැල් පෙට්ටි සඳහා යොමු කිරීමට අපේක්ෂිත අතර එම ඡන්දයේ අවසාන ප්‍රතිඵලය නොවැම්බර් 15 වන දිනට ප්‍රථම නිකුත් කරනු ඇත.
නමුත් ඡන්ද කටයුතු ආරම්භ වීමට පෙරාතුව ස්වාධීන මන්ත්‍රී Andrew Wilkie සහ විවාහ සමානාත්මකතාව පිළිබඳ උපදේශක Shelley Argent සහ Felicity Marlowe මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කර තිබේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් මෙම තැපැල් ඡන්දය මෙහෙයවීම සම්බන්ධව සහ පාර්ලිමේන්තු අනුමැතියක් නොමැතිව ඒ සඳහා ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වෙත ගෙවීමට යාම පිළිබඳ ව්‍යවස්ථානුකූල ගැටළු ඇති බව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.
නමුත් මෙලෙස තැපැල් ඡන්දයක් පැවැත්වීම කිසිදු අයුරකින් ව්‍යවස්ථා විරෝධී නොවන බව මුල්‍ය අමාත්‍ය Mathias Cormann පැවසු අතර එය සම්මත වුවහොත් විවාහ නීතිය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකි බවද පැවසීය.

නමුත් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන තීන්දුවක් එනතුරු නොසිට විවාහ නීතිය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ මොහොතේ ගත යුතු යැයි කම්කරු පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රිනී Penny Wong පැවසුවාය.

ලිබරල් සහ නැෂනල්ස් පක්ෂ වල බොහෝ දෙනාට සමානාත්මතාවට මුහුණ දීමට හෝ අනුබල දීමට නොහැකි බව සමලිංගික සම්බන්ධයක පසුවන Penny Wong තම කතාවේදී පැවසුවාය.
සමලිංගික යුවලවල් වල දරුවන් හට පරම්පරාව අහිමි වන බවට ඔස්ට්‍රේලියානු ක්‍රිස්තියානි සභාව සිදු කළ ප්‍රකාශයට විරුද්ධත්වය පළ කළ ඇය මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම රට වෙනුවෙන් ගත් එක්සත් තීරණයක් බවට සෙනට් සභික Mathias Cormann ගේ ප්‍රකාශය ද ප්‍රතික්ෂේප කළාය.
“ඔබ කතා කරන්නේ එක්සත් අවස්ථාවන් ගැන නේද? එය එක්සත් අවස්ථාවක් නෙමෙයි. එය අපගේ දරුවන්ව වෛයිරයක් සඳහා නිරාවරණය කිරීමක්.” යනුවෙන් ද ඇය සඳහන් කළාය.
මේ අතර සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වීමට යෝජිත ඡන්දය සඳහා ඩොලර් මිලියන 122 ක් වියදම් කරනුයේ ඇයි දැයි විපක්ෂ නායක බිල් ශෝටන් අගමැති මැල්කම ටර්න්බුල්ගෙන් ඇසුවේය.

එම මුදල් වලින් විශ්‍රාමිකයින් 334,000 ගේ බලශක්ති බිල්පත් ගෙවීමට සහය විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

නමුත් කම්කරු පක්ෂයේ නීතිපති සඳහාවූ නියෝජිත Mark Dreyfus මේ සම්බන්ධව ආරවුල් ඇතිකරගැනීම පසෙක තබා “අප මෙයට අකමැති බව ඇත්ත, නමුත් සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා තැපැල් ඡන්දයක් පැවැත්වෙයි. එය අපි ජයගත යුතුයි. දැන්ම ලියාපදිංචි වන්න” යනුවෙන් අද දිනයේ ට්විටර් පණිවිඩයක් තබා ඇත.

අවශ්‍යනම් තමන්ගේ ලියාපදිංචි විස්තර නිවැරදි දැයි පරීක්ෂා කර බලන මෙන් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම මහජනතාවට දැනුම් දෙයි.

මෙම ඡන්දය ඉදිරියට ගෙන යාමට ඉඩදීම පිළිබඳ අගමැති ටර්න්බුල් හට සුබපැතිය යුතු බව සමලිංගික විවාහ සඳහා මුලදී විරුද්ධවූ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති Tony Abbott පවසා ඇත.

“සමලිංගික විවාහ සඳහා ඔබ අකමැති නම් “නැහැ” යනුවෙන් ඡන්දය දෙන්න. ආගමික නිදහස සහ කතා කිරීමේ නිදහස පිළිබඳ ඔබ පසුතැවෙනවා නම් “නැහැ” යනුවෙන් ඡන්දය දෙන්න. දේශපාලනික නිරවද්‍යතාවට ඔබ අකැමතියි නම් “නැහැ” යනුවෙන් ඡන්දය දෙන්න.” ඇබට් පැවසීය.

Share
Published 9 August 2017 11:17pm
Updated 9 August 2017 11:19pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends