ගුවන් යානයක් පුපුරුවා හැරීමට ගිය සිඩ්නි නුවර ත්‍රස්ත කුමන්ත්‍රණයේ සුල මුල හෙළිවේ. සම්පූර්ණ කතාව මෙන්න. (SBS සිංහල /වාර්තා)

Khaled Mahmoud Khayat නැමැත්තා ජූලි 15 වන දින තම සොයුරාගේ ගමන් මල්ලක ඔහුටත් නොඅඟවා බෝම්බයක් සඟවා උඩු ගුවනේදී මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට සැලසුම් කළ බව වාර්තා වේ.

Sydney Terror Plot

Source: SBS

ත්‍රස්තවාදය වැළක්වීමේ ක්‍රමවේදය යටතේ පසුගිය සෙනසුරාදා (29/07) රාත්‍රියේ  සිඩ්නි නුවර සිදු කළ හදිසි ආරක්ෂක වැටලීම් හේතුවෙන් සැකකටයුතු පුද්ගලයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනුණි.

දැව කොටස් සහ පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නිවෙස්දී බෝම්බයක් සාදා එමගින් ගුවන් යානයක් පුපුරවා හැරීමට  සූදානම් වෙමින් සිටීම ඔවුන්ට එල්ලවූ ප්‍රධානතම චෝදනාව වේ.

සිඩ්නි නුවර Surry Hills, Lakemba, Wiley Park සහ Punchbowl යනාදී ප්‍රදේශ වල නිවාස 5 ක් මෙම වැටලීම් වලට හසුවී තිබේ.

එම සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනාගෙන්  50 හැවිරිදි එක් සැකකරුවෙකු පසුගිය අගෝස්තු 02 වන දින නිදහස් කරනු ලැබු අතර 39 හැවිරිදි Khaled Merhi නැමැත්තා ත්‍රස්තවාදී චෝදනාවලින් නිදහස් කර නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට නඩු පවරා අද (06/08) ඇප මත නිදහස් කළේය.

Lakemba ප්‍රදේශයේ 49 හැවිරිදි Khaled Mahmoud Khayat සහ Punchbowl ප්‍රදේශයේ 32 හැවිරිදි Mahmoud Khayat යන  සෙසු සැකකරුවන් දෙදෙනා පසුගිය සිකුරාදා (04/08) Parramatta අධිකරණයට යොමු කර  චෝදනා ගොනු කර නැවත බන්ධනාගාරගත කර තිබේ.
Khaled Mahmoud Khayat නැමැත්තා ජූලි 15 වන දින තම සොයුරාගේ ගමන් මල්ලක ඔහුටත් නොඅඟවා බෝම්බයක් සඟවා උඩු ගුවනේදී මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට සැලසුම් කළ බවද වාර්තා වේ. නමුත් වාසනාවකට මෙන්, අදාළ උත්සාහය එහි අවසාන මට්ටමේදී Etihad ගුවන් සේවා check-in කවුළුවේදී ව්‍යර්ථ විය.
පොලීසිය පැවසූ ආකාරයට අදාළ බෝම්බය සහිත ගමන් මල්ල අධික බරකින් යුක්ත වීම සැකයට බඳුන් වූ අතර එනිසා එම උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකියාව ලැබුණි.

මෙම තොරතුරු පසුගිය සෙනසුරාදා සිදු කළ හදිසි වැටලීමෙන් අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ගෙන් හෙළි විය.

කෙසේවෙතත්, අදාළ බෝම්බය සහිත ගමන් මල්ලෙහි අධික බර හේතුවෙන් එම ගමන් මල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණි.

මේ අතර අදාළ ගුවන් මගියා තම ගමන් මල්ලෙහි බෝම්බයක් ඇති බව  නොදැන සිටි බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියේ නියෝජ්‍ය කොමසාරිස් Michael Phelan පැවසුවේය.

මේ අතර Khaled Mahmoud Khayat අදාළ අධික බරැති ගමන් මල්ල කිසිවෙකුටත් නොදැනෙන අයුරින් සිඩ්නි ගුවන්තොටුපොලෙන් පිටතට ගෙන ආ අතර ඔහුගේ සොයුරා අදාළ Etihad ගුවන් යානය හරහා පිටව ගිය බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහුගේ සොයුරා ඔස්ට්‍රේලියාවට නැවත පැමිණියේ නැති බවද වාර්තා වේ.

මේ අතර Khaled Mahmoud Khayat ගේ අනෙක් සොයුරා වන 32 හැවිරිදි Mahmoud Khayat ටද ත්‍රස්ත වාදී ක්‍රියාවක් සිදු කිරීමට සැලසුම් කිරීමේ චෝදනා මත නඩු පවරා ඇත.

මොවුන් දෙදෙනා හට ඇප ලබා ගැනීමට කිසිදු අයදුම්පතක් ඉදිරිපත් නොවුණු අතර නැවතත් නොවැම්බර් 14 වන දින ඔවුන්ව අධිකරණයට පැමිණවීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර අදාළ චූදිතයින් IS සංවිධානයත් සමග සන්නිවේදන කටයුතු සිදු කළ බවත් ඒවාට අතර මගදී බුද්ධි අංශ විසින් බාධා එල්ල කළ බවත් වාර්තා වේ.

අදාළ පුපුරණ ද්‍රව්‍ය ඇඹරුම් යන්ත්‍රයක් තුළ සඟවා තබා අදාළ ගමන් මල්ලේ තැන්පත් කර තිබු නමුත් ගමන් මල්ල අධික බරැති හේතුවෙන් එය ගුවන් සේවා කාර්යය මණ්ඩලය බාර නොගත්තේය.

එනිසා Khaled Mahmoud Khayat එය නැවත රැගෙන ගොස් ඇත.

කෙසේවෙතත්, මෙම පුපුරණ ද්‍රව්‍ය සැකසුම සකස් කරන ලද්දේ ඉකුත් ජූලි 15 වන දින බව Michael Phelan තහවුරු කරමින්ම පවසයි.

ඔවුන් ගුවන් යානය තුළ රසායන ද්‍රව්‍ය විසිරණ උපකරණයක් නිර්මාණය කිරීම සැලසුම් කර තිබු අතර එමගින් විස වායු විමෝචනය කිරීමට හැකියාව ඇති බව සඳහන්.
මේ සඳහා අවශ්‍ය උපාංග සිරියාව පදනම් කරගත් IS සංවිධානයේ නිලධාරියෙකු ගුවන් මගින් සිඩ්නි වෙත ලැබෙන්නට ඉඩ සලස්වා ඇත.
IS සංවිධානය සමග පසුගිය අප්‍රේල් මාසයේදී සන්නිවේදන කටයුතු සිදු කළ බවට Khayat සොයුරන්ගෙන් එක් අයෙකු හට චෝදනා ගොනු කර තිබෙන බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියේ නියෝජ්‍ය කොමසාරිස් Michael Phelan පැවසුවේය.

Share
Published 6 August 2017 11:14pm
Updated 6 August 2017 11:16pm
By Madhura Seneviratne
Source: SBS News, Sydney Morning Herald


Share this with family and friends