ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ Tax refund එක තනිවම කරගන්න කැමතිද? 'SBS සිංහල' වෙතින් අත්වැලක්.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෑම බදු ගෙවන්නෙකුම තමන්ගේ Tax return හෙවත් බදු නැවත ලබා ගැනීම යොමු කිරීමට සැරසිය යුතු වන අතර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලීය නිල වෙබ් අඩවියට අනුව ඒක පුද්ගල බදු සැකසීම් යොමු කිරීමේ අවසාන දිනය ලෙස එළඹෙන ඔක්තෝබර් 31 වන දින නම් කර ඇත.

How to lodge your tax return in a correct way?

Source: SBS

සෑම වසරකම ජූලි 01 වන දින සිට ඊළඟ වසරේ ජුනි 30 දක්වා වූ කාලය ඔස්ට්‍රේලියාවේ මුල්‍ය වර්ෂය ලෙස දැක්වෙයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෑම බදු ගෙවන්නෙකුම තමන්ගේ Tax return හෙවත් බදු නැවත ලබා ගැනීම යොමු කිරීමට සැරසිය යුතු වන අතර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලීය නිල වෙබ් අඩවියට අනුව ඒක පුද්ගල බදු සැකසීම් යොමු කිරීමේ අවසාන දිනය ලෙස එළඹෙන ඔක්තෝබර් 31 වන දින නම් කර ඇත.

ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා ඇති MyTax නමැති යොමුව හරහා තමන්ගේ වාර්ෂික බදු සැකසීම යොමු කළ හැකිය.

MyTax යනු කුමක්ද?

අන්තර්ජාලය හරහා තමන්ගේ වාර්ෂික බදු සැකසුම ඉතා ඉක්මණින්, පහසුවෙන්, සුරක්ෂිතව හා ආරක්ෂාකාරී ලෙස යොමු කිරීමට MyTax පෝටලය හරහා හැකියාව ලැබෙයි.

එය වෙබ් අඩවියක් ලෙස ක්‍රියා කරන නිසා ඔබට එය වෙනමම බාගත කිරීමට අවශ්‍ය නැත.

ඔබට මේ සඳහා පරිගණකය, ටැබ්ලට්, ස්මාර්ට් දුරකථන යන ඕනෑම උපාංගයක් භාවිත කළ හැකිවේ.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලීය නිල වෙබ් අඩවියට අනුව ඔබ අන්තර්ජාලය ඔස්සේ ඔබගේ වාර්ෂික බදු සැකැස්ම යොමු කරනවානම් ඔබට myGov ගිණුමක් තිබිය යුතු අතර එය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය හා සම්බන්ධ වී තිබිය යුතුය.

මීට පෙර තිබූ e-tax ක්‍රමය වෙනුවට MyTax පෝටලය හඳුන්වා දී ඇති අතර e-tax ක්‍රමය ඔස්සේ සිදු කළ සියලුම ක්‍රියාවන් MyTax පෝටලය හරහාද සිදු කළ හැකිවේ.

MyTax හරහා බදු සැකසුම් යොමු කරන විට ඔබට අත්වන ප්‍රතිලාභ

  • එළඹෙන අගෝස්තු මාසය වන විට ඔබගේ සේවා යෝජකයින්ගේ, බැංකු වල සහ රජයේ නියෝජිත ආයතනවල තොරතුරු MyTax පද්ධතියේ ගබඩා කෙරෙන බැවින් ඔබගේ යොමුව වඩාත් පහසුවෙන් සහ ඉක්මණින් සිදු කරගත හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලීය නිල වෙබ් අඩවිය පවසයි.
  • අන්තර් ජාල බැංකු ගණුදෙනු හා සමානවම මෙහිදී ඔබගේ සියලු තොරතුරු සම්පූර්ණයන්ම සුරක්ෂිත වේ.
  • MyTax දින හතේම පැය 24 පුරාම ක්‍රියාත්මක බැවින් ඔබට පහසු ඕනෑම වේලාවකදී ඔබගේ බදු සැකසුම යොමු කළ හැකිවේ.
  • සාමාන්‍යයන් සති දෙකක පමණ කාලයක් ඇතුළතදී ඔබගේ බදු ප්‍රතිලාභය නැවත ඔබට ලැබේ.
  • ඔබගේ වාර්ෂික වියදම් ඔබට පෙරාතුවම myDeductions අංශයට ඇතුළත් කර හැකි වීම.
  • ඒක පුද්ගල ව්‍යාපාර ඇතුළුව සියලුම ඒක පුද්ගලයන්ගේ බදු සැකසීම් යොමු කිරීමට මෙමගින් හැකි වීම.
ඔස්ට්‍රේලියාවේ කාලීන හා වැදගත් තොරතුරු දැනගන්න පිවිසෙන්න SBS සිංහල වෙබ් අඩවියට.

ඔබගේ බදු සැකසුම් යොමුවේ ඉදිරි සැකසුම් කටයුතු පිරිසීම.

ඔබේ වාර්ෂික බදු සැකැස්ම යොමු කළ පසුව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් “Notice of assessment” නමැති ඇගයුම් නිවේදනයක් ඔබ වෙත යොමු කරන බව මෙල්බන් නුවර ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී ඉනෝකා ප්‍රනාන්දු මහත්මිය SBS සිංහල වෙත ප්‍රකාශ කළාය.

එමගින් ඔබට කොපමණ මුදලක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ගෙවිය යුතුද යන්න හෝ ඔබට කොපමණ මුදලක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත ගෙවීමට ඇත්ද යන්න දැනගත හැකි බව ඇය පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය හා සම්බන්ධිත myGov ගිණුමක් ඔබට ඇත්නම් ඔබගේ “Notice of assessment” නමැති ඇගයුම් නිවේදනය ඔබගේ myGov ගිණුමට සෘජුවම එවනු ලබන අතර ඒ පිළිබඳව ඔබට කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් ලිපියක් මගින් දන්වනු ඇත.

බදු සැකසුම් ප්‍රතිලාභය නැවත ලැබීමට කොපමණ කලක් ගත වෙනවාද?

අන්තර්ජාලය ඔස්සේ යොමු කරනු ලබන වාර්ෂික බදු සැකසුම් වල ප්‍රතිලාභය සති දෙකක පමණ කාලයක් ඇතුළත නැවත ඔබට ලැබෙන අතර සාම්ප්‍රදායික ලෙස ලිපි ලේඛන මගින් යොමු කරන විට ඒ සඳහා සති 10 ක පමණ කාලයක් ගත වන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලීය නිල වෙබ් අඩවිය දන්වයි.

ඔබට ඔබගේ බදු සැකසුම් යොමුවේ ඉදිරි සැකසුම් කටයුතු පිරිසීමට අවශ්‍ය නම් ඔබගේ myGov ගිණුම හරහා ඕනෑම වෙලාවක හැකියාව ලැබෙන අතර ඒ මොහොතේ ඔබගේ ප්‍රතිලාභ සැකසුම් කටයතු පවතින්නේ කිනම් අවධියකද යන්න පැහැදිලිවම ඔබට පෙන්වයි.
Tax return processing stages
Source: ATO
ඔබේ තොරතුරු සමග නීත්‍යානුකූල ඔස්ට්‍රේලියානු බැංකු ගිණුමක තොරතුරු ඇතුළත් කර තිබුණහොත් ඔබට යම් බදු ප්‍රතිලාභයක් හිමිවනවානම් එම මුදල් සෘජුවම අදාළ ගිණුමට බැර කෙරෙන බව ද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලීය නිල වෙබ් අඩවිය දක්වයි.

ඔබේ බදු ප්‍රතිලාභය ප්‍රමාද වීමට හේතු.

ඔබේ බදු ප්‍රතිලාභය ප්‍රමාද නම් ඔබේ බදු සැකසීමේ යම් වැරද්දක් හෝ වැරදි ඇති බව මෙල්බන් නුවර ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී ඉනෝකා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

ඇය සඳහන් කරන ආකාරයට බදු සැකසීමේදී ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් විසින් සිදු කරනු ලබන බහුලතම වැරදි කිහිපයක් පහත පරිදි වේ.

  • ඔබ හට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත තවමත් නොගෙවූ මුදලක් ගෙවීමට තිබීම.
  • පෙර මුල්‍ය වර්ෂය සඳහා ඔබේ බදු සැකසුම ඉතා මෑතක යොමු කර තිබීම.
  • ඔබ හෝ ඔබේ ව්‍යාපාරය බංකොලොත් වී තිබීම.
  • ඔස්ට්‍රේලියාවේ මානව සේවා දෙපාර්තමේන්තුව වැනි රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු සමග ඔබ සැපයූ තොරතුරු පරීක්ෂා කර බැලීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය යොමු වීම.
  • ඔබ සැපයූ වියදම් පිළිබද යම් සැකයක් ජනිත වීම.

ඔබේ බදු සැකසුම යොමු කළ පසුව යම් වැරැද්දක් නිවැරදි කරගන්නේ කෙසේද?

ඔබේ බදු සැකසුම යොමු කළ පසුව ඔබට යම් දෙයක් නිවැරදි කිරීමට හෝ තවත් යමක් එකතු කිරීමට ඇති නම් ඔබේ myGov ගිණුම හරහා ඔබට ඒ සඳහා පහසුකම් සැලසේ.

2015 සහ 2016 වසර වල බදු සැකසුම් සඳහා වුවද යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍යනම් එය යොමු කළ ආකාරය කුමක් වුවද ඔබට එය සිදු කිරීමට හැකිය.

අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන වෙනස්කම් ව්‍යාපාරික දින 20 ක් ඇතුළත සැකසෙන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලීය නිල වෙබ් අඩවිය පවසයි.

ඔස්ට්‍රේලියාවේ කාලීන හා වැදගත් තොරතුරු දැනගන්න පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට.

Share
Published 17 July 2017 4:00pm
Updated 18 July 2017 3:34pm
By Madhura Seneviratne


Share this with family and friends