ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පීඩනයෙන් පෙළෙන ඉහළම නගර 20 අතරින් හරි අඩක්ම වික්ටෝරියා ප්‍රාන්තයේ බව හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

සමස්ත ඔස්ට්‍රේලියාවේ වැඩිම නිවාස ණය පීඩනයෙන් පෙළෙන නගරය ලෙස මෙල්බන් නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් 27 ක් පමණ දුරකින් පිහිටි Wollert හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 23% ක් බව වාර්තා වේ.

Australia Housing Market

Australia Housing Market Source: SBS

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පීඩනයෙන් පෙළෙන ඉහළම නගර 20 අතරින් හරි අඩක්ම වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටා ඇති බව Grattan Institute ඉදිරිපත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ 2011 සහ 2016 වසර වල සිදු කෙරුණු සංගණන දත්ත ආශ්‍රිතව මෙම වාර්තාව සකස් කර ඇති බව සඳහන්.

ඒ අනුව සමස්ත ඔස්ට්‍රේලියාවේ වැඩිම නිවාස ණය පීඩනයෙන් පෙළෙන නගරය ලෙස මෙල්බන් නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් 27 ක් පමණ දුරකින් පිහිටි Wollert හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 23% ක් බව වාර්තා වේ.

මෙල්බන් නුවර Roxburgh Park 20.9% ක ප්‍රතිශතයක් ලබා දෙවැනි තැනට පත්ව ඇත.

නිවාස ණය නැවත ගෙවීම සඳහා තම ආදායමෙන් 30% ක ප්‍රතිශතයක් ගෙවීම මත මෙම නිවාස ණය පීඩනය නිර්ණය කරනු ලබයි.

මෙම නිවාස ණය පීඩනය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ඉම් ආශ්‍රිතව ඇති නගර වල උග්‍ර බවත් වික්ටෝරියා ප්‍රාන්තයේ මෙය සුවිශේෂී බවත් Grattan Institute හි Brendan Coates පැවසීය.

“මෙල්බන් උතුරු කලාපයේ ඇති Roxburgh Park, බටහිර Cranbourne, Burnside Heights  වැනි නගර වල සැලකිය යුතු ලෙස නිවාස ණය පීඩනයක් තිබෙනවා. මෙය බරපතල ප්‍රශ්නයක් බව මම හිතනවා.” Brendan Coates වැඩි දුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික වට පිටාව සුළු වශයෙන් හෝ වෙනස් වූ විට බොහෝ නිවැසියන් ආර්ථික අතින් මහත් අපහසුතාවට පත්වන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම අද වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉතිහාසයේ ඉහළම අගය වෙත ගමන් කර ඇත.

නිවාස ණය ආශ්‍රිත පොලී අනුපාතික වල ඉතා සුළු වෙනස්කමක් වුවද එය විශාල බලපෑමක් ඇති කරන බව Brendan Coates පැවසීය.

“දැන් තිබෙන තැනින් පොලී අනුපාතික 2% කින් වැඩි වුණොත් 1989 දී වාර්තාවූ (17%) සාමාන්‍ය නිවාසයකට අදාළ ණය බරෙහි සාමාන්‍යයට වඩා වැඩි බව අපගේ පර්යේෂණය පෙන්වනවා. ඊට හේතුව දේපලක් මිලට ගැනීමට පුද්ගලයින් විසින් ලබා දෙන මූලික තැන්පතුව විශාල වීමයි.” Grattan Institute හි Brendan Coates පැහැදිලි කළේය.

එනිසාම එය නිවාස ණය පීඩනයෙන් පෙළෙන ප්‍රමුඛතම නගර 20 අස්ථාවර තත්ත්වයකට පත් කරනු ඇත.

Grattan Institute ඉදිරිපත් කළ නවතම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පීඩනය ඉහළම නගර 20.

  • Wollert, Vic – 23%
  • Roxburgh Park - Somerton, Vic – 20.9%
  • Upper Yarra Valley, Vic - 20.8%
  • Chullora NSW - 20.6%
  • Mickleham - Yuroke, Vic - 20.0%
  • Cranbourne West, Vic - 19.7%
  • Burnside Heights, Vic - 19.6%
  • Lawson, ACT - 19.5%
  • Byford, WA - 19.4%
  • Forrestdale - Harrisdale- Piara Waters, WA - 19.3%
  • Hoxton Park - Carnes Hill - Horningsea Park, NSW – 19%
  • Cairnlea, Vic – 19%
  • West Hoxton - Middleton Grange, NSW - 18.9%
  • Craigieburn West, Vic 18.9%
  • Prestons - Edmonson Park, NSW- 18.7%
  • Carramar, WA - 18.7%
  • Jacka, ACT - 18.7%
  • Ellenbrook, WA - 18.6%
  • Craigieburn - North, Vic - 18.4%
  • Lynbrook - Lyndhurst, Vic - 18.4%

Share
Published 10 July 2017 8:58pm
By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends