වසර 8 කට පසුව ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් (SBS සිංහල / වාර්තා)

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් 12 ක්‌, රිදී පදක්කම් 5 ක්‌ සහ ලෝකඩ පදක්කම් 12 ක්‌ සමගින් සමස්‌ත පදක්‌කම් 29 ක්‌ හිමි කරගත් සත්කාරක ඉන්දීය කණ්‌ඩායම පදක්‌කම් සටහනේ පෙරමුණට පත්වන අතරවාරයේ රන් පදක්‌කමක්‌ සහ රිදී පදක්‌කම් හතරක්‌ දිනාගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමට පදක්කම් සටහනේ හිමි වුනේ 9 වැනි ස්ථානයයි.

800M Gold Medalist and Silver Medalist

Source: odisha2017.games web site

පසුගියදා ඉන්දියාවේ බුබනේශ්වර් හිදී නිමාවට පත් 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ සමස්ථ  ශුරතාවය සත්කාරක ඉන්දියාවට හිමිවුවත්, වසර 8කට පසුව එම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්  හිමි වීම සුවිශේෂී කාරණයක්. තරගාවලියේ අවසන් දිනයේ පැවති  මීටර 800 කාන්තා අවසන් තරගයේ රන් පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි සමත් වූ අතර, එම ඉසව්වේ රිදී පදක්කම ගයන්තිකා අබේරත්න විසින් හිමි කරගන්නට සමත් විය.

රන් පදක්කම සමගින් නිමාලි ලෝක ශුරතා තරගාවලියට සුදුසුකම් ලබයි


මීටර 800 කාන්තා අවසන් තරගයේ මුලික ප්‍රථිපල  අනුව නිමාලි හට තරගයේ දෙවැනි ස්ථානය සමගින් රිදී පදක්කම හිමි වුවත් එම තරගය ජයගත් ඉන්දීය ක්‍රීඩිකාව අර්චනා ජදව් තරගය අතර තුරදී නිමලිගේ මං  තීරුව අවහිර කිරීම හේතුවෙන් ඇයගේ  රන් පදක්කම අවලංගු කිරීමට බලධාරීන් තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය තරග සංවිධායකයින් වෙත අභියාචනයක් ගොනු කිරීමෙන් අනතුරුව මීටර 800 කාන්තා  අවසන් තරගයේ ප්‍රථිපල සංශෝධනය කරමින් ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි හට එම ඉසව්වේ රන් පදක්කම පිරිනැමීමට බලධාරීන් තීරණය කල බව සදහන්.  නිමාලි කාන්තා මීටර් 800 ඉසව්ව විනාඩි 2.05.23 ක කාලයකින් නිමා  කල අතර, ඇයගේ  මෙම දක්ෂතාවත් සමගින් එළබෙන අගෝස්තු මස එංගලන්තයේදී පැවැත්වෙන ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබන්නටද ඇය  සමත් වීම විශේෂ සිදු වීමක්.

සමස්ත ශුරතාවය ඉන්දියාවට. ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානය


මෙවර  ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම්  12 ක්‌, රිදී පදක්කම්  5 ක්‌ සහ ලෝකඩ පදක්කම්  12 ක්‌ සමගින් සමස්‌ත පදක්‌කම් 29 ක්‌ හිමි කරගත්  සත්කාරක ඉන්දීය කණ්‌ඩායම පදක්‌කම් සටහනේ පෙරමුණට පත්වන අතරවාරයේ රන් පදක්‌කමක්‌ සහ රිදී පදක්‌කම් හතරක්‌ දිනාගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමට පදක්කම් සටහනේ හිමි වුනේ 9 වැනි ස්ථානයයි.  රන් පදක්කම්  8 ක්‌, රිදී පදක්කම් 7 ක්‌ සහ ලෝකඩ පදක්කම්  5 ක්‌ සමගින් පදක්‌කම් 20 ක්‌ දිනාගත් චීනයට දෙවැනි ස්‌ථානයත්, රන් පදක්කම්  4ක්‌ සමගින් සමස්‌ත පදක්‌කම් 8 ක්‌ දිනාගත් කසකස්‌තානයට තෙවැනි ස්‌ථානයත් හිමි විය.


22 වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සහභාගී විය.

පදක්කම් සටහන


Asian athlatic championship medal tally
Source: odisha2017.games web site

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා


මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගවලියේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට හිමි කරදුන්නේ හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වට සහභාගී වූ දිල්හානි ලේකම්ගේ විසින්. එම ඉසව්වේ රන් පද්දකම හිමි කරගත් චීන ක්‍රීඩිකාව LI LINGWEI මීටර 63.06ක දුරක් වාර්තා කල  අතර, දිල්හානි මීටර 58.11 දුරක් වාර්තා කරන්නට සමත් විය.

තරගාවලියේ අවසන් දිනයේ පැවති මීටර් 200 කාන්තා අවසන් තරගයේදී තත්පර 23.43ක කාලයක් වාර්තා කල  රුමේෂිකා රත්නායක එම ඉසව්වේ රිදී පදක්කම හිමි කරගත් අතර  එම ඉසව්වේ රන් පදක්‌කම හිමිකරගත්  කසකස්‌තානයේ VIKTORIYA ZYABKINA ක්‍රීඩිකාව  මූලික වටයේදී රුමේෂිකා විසින් පරාජය කිරීම විශේෂත්වයක්‌.  පළමු ස්ථානය හිමි කරගත් කසකස්‌තාන ක්‍රීඩිකාව වාර්තා කල කාලය තත්පර 23.10 ක්.

තරගාවලියේ අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට හිමිවූ තෙවැනි රිදී පදක්කම 4x 400m පිරිමි සහාය  දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අතර විනාඩි 03.04.80ක  කාලයකින් එම ඉසව්ව නිමා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. තාරක ධනංජය, කාලිංග කුමාරගේ, අජිත් ප්‍රේමකුමාර සහ දිලිප් රුවන් යන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම ශ්‍රී ලංකාවට මෙම ඉසව්වේ රිදී පදක්කම හිමි කරදුන් අතර එම ඉසව්ව විනාඩි 3.02.92 කාලයකින් නිමාකළ ඉන්දීය ක්‍රීඩකයෝ එහි රන් පදක්‌කම දිනාගත්හ.

මත භේදාත්මක තරග වින්ශ්චය


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තුන් පිම්ම කාන්තා  ඉසව්වට සහභාගී වූ විදුෂා  ලක්ෂානි හට ඉන්දීය තාක්ෂණික නිලධාරියෙකුගේ අසාධාරණ තීරණ හේතුවෙන් පදක්කමකට තිබු අවසථාවක් ගිලිහී  ගිය බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කර තිබිණි. ceylonathletics වෙබ් අඩවිය වාර්තා කර තිබු පරිදි මෙම අසාධරණ තීරණය පිලිබදව විදුෂා තරගාවලියේ ජාත්‍යන්තර තාක්ෂණික කමිටුවට වාර්තා කිරීමෙන් අනතුරුව ඇයට නැවතත් උත්සාහයක්  ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ. ප්‍රධාන ඉසව්ව පවත්වා සැලකිය යුතු කාලයකට පසුව (විනාඩි 30කින් පමණ පසුව ) ඇය එම උත්සාහයේ නිරත වූ නිසා ඇයගේ ශරීරය ඒ සදහා සුදානම්ව නොතිබූ බැවින් එය නිරර්ථක උත්සාහයක්  වූ බව මලල ක්‍රීඩා ප්‍රවීනයින්ගේ මතය වී තිබේ. එම ඉසව්වේ සිව් වන ස්ථානය විදුෂා  ලක්ෂානි හට හිමි වූ අතර තෙවැනි ස්ථානය සමගින් ලෝකඩ පදක්කම ඉන්දීය ක්‍රීඩිකාවට හිමි විය. එම ඉසව්වේ රන් සහ රදී පදක්කම් හිමි වුයේ කසකස්‌තාන ක්‍රීඩිකාවන්ටයි. ආසියානු මට්ටමේ තරගාවලියකදී මේ ආකාරයන් දුර්වල විනිශ්චයන් ලබා දීම කිසිසේත්ම අනුමත කල නොහැකි බව මලල ක්‍රීඩා ප්‍රවීනයින්ගේ මතය වී තිබේ.





 


Share
Published 11 July 2017 7:20am
Updated 11 July 2017 3:57pm
By Sanjaya Dissanayake


Share this with family and friends