ඔස්ට්‍රේලියාව තුළ මාස 12ක් නොකඩවා එකම පැය ගණනක් සේවය කරන අනියම් සේවකයින්ට සේවය ස්ථිර කරන ලෙසට ඉල්ලීම් කළ හැකියි : Fair Work කොමිසමෙන් තීන්දුවක්. (SBS සිංහල/වාර්තා)

85 modern awards යටතේ කිසියම් අනියම් සේවකයෙක් එකම සේවා යෝජකයෙකු හට මාස 12ක කාලයක් එකම පැය ගණනක් නොකඩවා සේවය කරන කල, පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන සේවයෙහි පිහිටුවන ලෙසට අදාළ අනියම් සේවකයින් හට ඉල්ලීම් කිරීමට අයිතිය ලබා දීමට Fair Work කොමිසම එකඟ වී ඇත.

workload

Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ මාස 12ක කාලයක් නොකඩවා එකම පැය ගණනක් සේවය කරන අනියම් සේවකයින් හට (Casual workers) තම සේවය ස්ථිර කරන මෙන් ඉල්ලීම් කිරීමට දැන් අයිතිය ඇති බව වාර්තා වේ.

මාස 6 ක කාලයක් නොකඩවා එකම පැය ගණනක් සේවය කරන අනියම් සේවකයින් හට සේවය ස්ථිර කරගැනීමට අවස්ථාව සලසන මෙන් වෘත්තීය සමිති නායකයින් Fair Work කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම පිළිබඳ සළකා බැලු Fair Work කොමිසම අදාළ කාලය මාස 6 කට නොව මාස 12 ක් ලෙසට එකඟ වී ඇත.
ඒ අනුව 85 modern awards යටතේ කිසියම් අනියම් සේවකයෙක් එකම සේවා යෝජකයෙකු හට මාස 12ක කාලයක් එකම පැය ගණනක් නොකඩවා සේවය කරන කල, පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන සේවයෙහි පිහිටුවන ලෙසට අදාළ අනියම් සේවකයින් හට ඉල්ලීම් කිරීමට අයිතිය ලබා දීමට Fair Work කොමිසම එකඟ වී ඇත.
නමුත් සාධාරණ හේතුන් මත සේවා යෝජකයින් හට එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමටද අයිතියක් ඇති බව වාර්තා වේ.

ඉදිරි මාස 12 ක කාලය තුළ අදාළ අනියම් සේවකයාගේ තනතුර සේවා ස්ථානයට අවශ්‍ය නොවන බව පෙනෙන්නට තිබෙන විට වැනි තත්ත්වයන් මත සේවා යෝජකයින් හට එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ලැබෙනු ඇත.

දිගු ගමනක කුඩා පියවරක්.

ඔස්ට්‍රේලියාව තුළ අනියම් සේවකයින් මුහුණ දෙනු ලබන රැකියා අස්ථාවර බව ඇතුළු ගැටළු රාශියකට විසඳුම් සෙවීමේ ගමනෙහි කුඩා පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බව ඔස්ට්‍රේලියානු  වෘත්තීය සමිති කවුන්සිලයේ (ACTU) ලේකම් Sally McManus පැවසුවාය.

අඩු වැටුප් ලබා දීම ඇතුළු රැකියා ආශ්‍රිත අර්බුද රැසකට ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන බහුතරයක් අනියම් සේවකයින් මුහුණ දෙන බවද ඇය පැහැදිලි කළාය.
ඔස්ට්‍රේලියාවේ hospitality, retail, manufacturing සහ agriculture යන අංශ වල සේවයේ යෙදෙන සේවකයින් හට මෙම නව තීන්දුව බලපානු ඇත.
මේ අතර අනියම් සහ අර්ධ කාලීන සේවකයින් හට අවම වශයෙන් පැය 4ක සේවා මුරයක් ලබා දීම, අමතර පැය ගණනක් ඇතිවිට ඒවා සේවයේ නියුතු සේවකයින් හට ලබා නොදී අතිරේක අර්ධ කාලීන හෝ අනියම් සේවකයින් සේවයට බඳවා ගනිමින් එම අමතර පැය ගණන් ලබා දීම තහනම් කරන ලෙස වෘත්තීය සමිති සිදු කළ ඉල්ලීම් Fair Work කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නව වෙනස්කම් හේතුවෙන් දහස් ගණනකගේ රැකියා අනතුරෙහි හෙළීමේ සහ ඇතැම් සේවකයින් හට දඬුවම් ලැබීමේ උවදුරක් ඇති බව පෙන්වා දෙන සේවා යෝජකයින් වෘත්තීය සමිති සිදු කළ මෙම ක්‍රියාව හෙළා දැක තිබේ.

මේ අතර මෙම නව තීන්දුව ඇතැම් සේවා යෝජකයින් හට ලැබුණු නම්‍යශීලිත්වය අඩු කරන  නමුත්  වෘත්තීය සමිති සිදු කළ සියලු ඉල්ලීම් අනුමත නොකිරීම පිළිබඳ තමන් තෘප්තිමත් වන බව Australian Industry Group හි ප්‍රධාන විධායක Innes Willox පැවසීය.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ගේ ප්‍රතිශතය පසුගිය වසර 19 ක් පුරාවටම 20% ක ප්‍රතිශතයක ආසන්නයේ තිබෙන බවත් එය ඉදිරියේදී පවා ඉහළ නොයනු ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ පවතිනවා යයි වෘත්තීය සමිති පෙන්වන අනියම් සේවකයින්ගේ අර්බුදය මිත්‍යාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Share
Published 5 July 2017 9:40pm
By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends