ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සඳහා VCE සුදුසුකම සහිතව පාසලෙන් පිටවීමට නවතම ඇගයීම් පරීක්ෂණයක්. (SBS සිංහල/වාර්තා)

බොහෝ යොවුන් පිරිස් තම පාසල් අධ්‍යාපනය නිමා කරනුයේ අඩු කුසලතාවන් සමග බවට වික්ටෝරියානු වාණිජ මණ්ඩලය ඇතුළු ක්ෂේත්‍රයේ බලධාරීන් මැසිවිලි නගන මොහොතක මෙම නව ක්‍රියාමාර්ගය ගැනීමට සූදානම් වීමද කැපී පෙනෙන්නකි.

Compulsory literacy and numeracy test mooted for VCE students.

Source: AAP

VCE සුදුසුකම සහිතව පාසලෙන් පිටවීමට නම් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් හට තමන්ගේ භාෂා සහ ගණිතමය දැනුම සාධනීය මට්ටමක තිබීම නුදුරේදීම අනිවාර්ය වන ලකුණු පෙනී යයි.

දශක ගණනාවකදී ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනයේ උසස් පෙළ ඉගෙනුම මෙවැනි විශාල මට්ටමේ වෙනස්කමකට ලක්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

පාසල් අධ්‍යාපනය නිමා කර පාසලෙන් පිටවීමට පෙර අනිවාර්ය කළ නවතම භාෂා සහ ගණිතමය පරීක්ෂණයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්තයේ විෂයය අධිකාරිය පිඹුරු පත් සකසමින් සිටින බව Fairfax Media වාර්තා කරයි.

එමෙන්ම VCE සහ ඊට සමාන වූ VCAL සුදුසුකම් ලැබීම වෙනුවට සිසුන් හට NAPLAN  පරීක්ෂණයෙන් විශේෂිතවූ ලකුණු ලබා ගැනීමට හැකි වේ දැයිද ඔවුන් අධ්‍යනය කරමින් සිටියි.

බොහෝ යොවුන් පිරිස් තම පාසල් අධ්‍යාපනය නිමා කරනුයේ අඩු කුසලතාවන් සමග බවට වික්ටෝරියානු වාණිජ මණ්ඩලය ඇතුළු ක්ෂේත්‍රයේ බලධාරීන් මැසිවිලි නගන මොහොතක මෙම නව ක්‍රියාමාර්ගය ගැනීමට සූදානම් වීමද කැපී පෙනෙන්නකි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ බටහිර ඔස්ට්‍රේලියාවේ මීට සමාන වූ ආකෘතියක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 9 වසරේ ඉගෙනුම ලබන සිසුන් ඔවුන්ගේ උසස් පෙළ පන්ති සඳහා සුදුසකම් ලැබීමට නම් කියවීම, ලිවීම සහ ගණිතය යන අංශ සඳහා NAPLAN පරීක්ෂණයේ මට්ටම් 10 න ඉහළම මට්ටම් තුනට හෝ පැමිණිය යුතු වෙයි.

එම සමත්කම දක්වන්නට නොහැකිවූ සිසුන් හට 9 වසරේ සිට 12 වසර දක්වා කාලය තුළ අදාළ සුසුදුකම් ලැබීමට අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂණයක් පවත්වයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙම වෙනස් කම් කිරීමට ඊයේ (02/08) නිකුත්වූ නවතම NAPLAN පරීක්ෂණයේ දත්ත ඉවහල් වූ අතර ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ භාෂාමය සහ ගණිතමය හැකියාව නොකඩවා සිව්වන වසරටත් එක තැන පල් වන බව එහිදී පෙනී ගොස් තිබේ.

එහිදී සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම ඉහළම ලකුණු සාමාන්‍යයක් ඇත්තේ වික්ටෝරියානු සිසුන්ට බවත් spelling අංශයෙන් හැරුනුකොට සෑම අංශයකින්ම  සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම වික්ටෝරියානු 3 වසරේ සිසුන් රටේ ඉහලම දක්ෂතා දක්වා ඇති බවත් එයින් හෙළිවී තිබේ.

එමෙන්ම ලිවීම සහ ගණිතය අංශ වලින් වික්ටෝරියා ප්‍රාන්තයේ 5 සහ 7 වසරවල සිසුන් ද සමස්ත ඔස්ට්‍රෙලියාවෙන්ම ඉහලම දක්ෂතා දක්වා ඇති බවද අනාවරණය විය.

කෙසේවෙතත්, VCE සුදුසුකම සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ උසස් පෙළ පන්ති සඳහා විශේෂ පරීක්ෂණයක් යෝජනා කිරීම සම්බන්ධව අදහස් දැක්වීමට වික්ටෝරියානු විෂයය මාලා සහ ඇගයීම් අධිකාරිය මෙන්ම වික්ටෝරියානු අධ්‍යාපන අමාත්‍ය James Merlino ද ප්‍රතික්ෂේප කර තිබේ.

Share
Published 3 August 2017 10:42am
By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends