ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවන්සා රෝගය සඳහා 2017, වාර්තා ගත වසරක් ලෙසට අනතුරු ඇඟවීමක්. (SBS සිංහල/වාර්තා)

සෑම වසරකම පුද්ගලයින් 800 කට වඩා ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් මිය යන බවත් ඉන් වැඩිපුරම අවදානම ඇත්තේ මහලු උදවිය බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ බෝවන රෝග අංශයේ අධ්‍යක්ෂ Vicky Sheppeard පැවසුවාය.

Australia's winter flu outbreak spikes early in season

Australia's winter flu outbreak spikes early in season Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ සෙම්ප්‍රතිශ්‍යා උන හෙවත් ඉන්ෆ්ලුවන්සා රෝගයේ රෝග ලක්ෂණ අනෙක් වසර වල ශීත කාල වලට වඩා මෙවර ශීත කාලයේ වැඩි වශයෙන් දක්නට ඇති බව නවතම දත්ත වාර්තා පවසයි.

මහජන සෞඛ්‍ය වෛද්‍යවරයෙකු වන Craig Dalton විසින් සම්බන්ධීකරණය කරන ලද Flutracking ව්‍යාපෘතිය හරහා මෙම කරුණු අනාවරණය කරගෙන ඇත.

එම ව්‍යාපෘතියට අනුව පසුගිය වසර 5 ක කාලය දෙස බැලූ කල මෙවර ඉන්ෆ්ලුවන්සා රෝගයේ රෝග ලක්ෂණ වේලාසනින් මතුව ඇති බව හෙළිවී තිබේ.
“බොහෝ වෙලාවට අපිට කැස්ස, උන, ඉන්ෆ්ලුවන්සාව වැනි රෝග දැකීමට හැකි වන්නේ අගෝස්තු අවසානයේදී. නමුත් මෙවර අපිට ජූලි මාසයේ මැද බාගයේ සිටම එම රෝග බහුලව දක්නට ලැබෙනවා.” වෛද්‍ය Craig Dalton පැවසීය.
Newcastle විශ්ව විද්‍යාලය,  Hunter New England Population Health සහ Hunter වෛද්‍ය පර්යේෂණ ආයතනය යන ආයතන එක්ව ඔස්ට්‍රේලියනුවන් 20,000 කටත් වඩා අන්තර්ජාලය ඔස්සේ සෑම සතියකම සහභාගී කරගෙන මෙම Flutracking ව්‍යාපෘතිය සිදු කර ඇත.

සමීක්ෂණයට සහභාගී වූ අයට තමන්ගේ කැස්ස සහ උන රෝගයේ රෝග ලක්ෂණ පවසන්නට සිදුවූ අතර පසුව ඒවා කලාපීය වශයෙන් වෙන් කර පර්යේෂකයින් විසින් විමර්ශනය කර තිබේ.

එමගින් ඉන්ෆ්ලුවන්සා රෝගයේ තත්ත්වය සහ අදාළ එන්නත් වල කාර්යසාධකතාව නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණි.

වෛද්‍යවරුන් වෙත ගොස් මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ආශ්‍රයෙන් මේවායේ දත්ත ලබා ගැනීමට වඩා මෙවැනි සමීක්ෂණයකින් ලබා ගන්නා දත්ත සාපේක්ෂව නිවැරදි බව වෛද්‍ය Dalton පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම දත්ත මෙම සතිය මුලදී නිකුත් කළ අතර එයට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙම වසරේ ඉන්ෆ්ලුවන්සා රෝගය නරක අතට හැරී ඇත.

ගතවූ ජූලි මාසයේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවන්සා ගැටළු 11,200 කටත් වඩා වාර්තා වී තිබේ.

පසුගිය සතියේ පමණක් පුද්ගලයින් 8,000 කටත් වඩා වැඩි පිරිසක් හදිසි ප්‍රතිකාර අංශ වෙත ගොස් ඇති බව වාර්තා වන නමුත් එම කාලයේදීම පසුගිය වසරේ එම ප්‍රමාණය 2,000 ක් බව වාර්තා වේ.
ඊට අමතරව ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් නිවාස වල ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිර යාමේ සිද්ධි 50 කටත් වඩා වාර්තා වූ අතර අදාළ රෝගයෙන් පෙලෙන පුද්ගලයින් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින තම වැඩිමහල්ලන් බැලීමට නොයන ලෙස දන්වා ඇත.
සෑම වසරකම පුද්ගලයින් 800 කට වඩා ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් මිය යන බවත් ඉන් වැඩිපුරම අවදානම ඇත්තේ මහලු උදවිය බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ බෝවන රෝග අංශයේ අධ්‍යක්ෂ Vicky Sheppeard පැවසුවාය.

මෙම තත්ත්වයට සමාන තත්ත්වයක් ක්වීන්ස්ලනතයෙන් ද වාර්තා වන අතර ABC පුවත් සේවය වාර්තා කරන අන්දමට පසුගිය සතියේ ක්වීන්ස්ලනත ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉන්ෆ්ලුවන්සා රෝගීන් සංඛ්‍යාව 2,000 ක් දක්වා වැඩිවී තිබේ.

2017 වසර ඉන්ෆ්ලුවන්සා රෝගය සඳහා වාර්තා ගත වසරක් ලෙස හැඳින්විය හැකි බව වෛද්‍ය Dalton අනතුරු අඟවයි.

Share
Published 4 August 2017 11:33am
By Madhura Seneviratne
Source: The Guardian

Share this with family and friends