නව ඕස්ට්‍රේලියානු දෙමාපිය වීසා පිලිබඳ දැනගත යුතු කරුණු 12ක් SBS සිංහල වෙතින්....

යෝජිත නව දෙමාපිය වීසා වසර 5ක කාලයකට ලැබෙන අතර එම කාලය දක්වා ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට අවසර ලැබේ. ඉන් අනතුරුව නැවතත් එය දීර්ඝ කළ යුතු වේ. මේ වන විට මෙම නව වීසා ඛාණ්ඩයට ගාස්තුවක් නියම කර නැති නමුත් එය දැරිය හැකි ගාස්තුවක් බව රජය පවසා තිබේ.

New parent visa

New parent visa Source: SBS

දැනට පවතින වියදම් අධික සහ දිගු කාලයක් බලා සිටීමට සිදුවන දෙමාපිය වීසා වෙනුවට සහනදායී මට්ටමේ දෙමාපිය වීසා ඛාණ්ඩයක් ලබා දීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළේය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි සහ පුරවැසිභාවය හිමි පුද්ගලයන් හට තම දෙමාපියන් සඳහා ඛාණ්ඩ දෙකක දෙමාපිය වීසා පවතියි. එක් ඛාණ්ඩයක් සඳහා $5935ක් වැය වන අතර වසර 30ක් දක්වා බලා සිටීමට සිදු වේ. අනෙක් ඛාණ්ඩය වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව $47,000 වන අතර වසර දෙකක් ඇතුලත වීසා ලැබේ.

දෙමාපියන් හට $135 සහ $340 වියදම් සහිත තාවකාලික වීසා ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකි නමුත් එම වීසා වල කාලය මාස 3 සිට 12 දක්වා සීමිත වේ.

මේ අතර පසුගිය මාසයේ එළිදැක්වුණු ඔස්ට්‍රේලියානු පලදායිතා කොමිසම් වාර්තාවට අනුව දෙමාපිය වීස සඳහා $47,000ක් අය කළද අදාළ දෙමාපියන්ගේ සෞඛ්‍යය සහ සුබ සාධන වියදම් සඳහා එම මුදලද ප්‍රමාණවත් නොවේ.

ඒ අනුව රජයට මෙම දෙමාපිය වීසා ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍යනම් එම වීසා ගාස්තුව දෙගුණයක් කළ යුතු බවට කොමිසම් වාර්තාව යෝජනා කර තිබුණි.

නමුත් බොහෝ ප්‍රජාවන් සහ ප්‍රජා නායකයන් පෙන්වා දුන්නේ එසේ ගාස්තුව දෙගුණ කිරීම පවුල් වලට දැරිය නොහැකි බවය.  මේ හේතුවෙන් නව දෙමාපිය වීසා ඛාණ්ඩයක් නිර්මාණය කිරීමට රජය තීරණය කර ඇත.

මේ හේතුවෙන් දෙමාපිය වීසා පිළිබඳ ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා පත්‍රයක් ඉදරිපත් කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ සිටින ඕනෑම අයෙකුට ඒ සම්බන්ධව තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය. එම කාලය එළඹෙන ඔක්තෝබර් 31 න් අවසන් වේ. ඒ අනුව එම අදහස් හා යෝජනාද සැලකිල්ලට ගෙන නිර්මාණය කරනු ලබන නව දෙමාපිය වීසා ඛාණ්ඩය ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.  

ඒ සම්බන්ධව ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

1. නව දෙමාපිය වීසා වසර 5කට ලැබෙන අතර දැරිය හැකි ගාස්තුවක් වේ.

යෝජිත නව දෙමාපිය වීසා වසර 5ක කාලයකට ලැබෙන අතර එම කාලය දක්වා ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට අවසර ලැබේ. ඉන් අනතුරුව නැවතත් එය දීර්ඝ කළ යුතු වේ.  මේ වන විට මෙම නව වීසා ඛාණ්ඩයට ගාස්තුවක් නියම කර නැති නමුත් එය දැරිය හැකි ගාස්තුවක් බව රජය පවසා තිබේ.

2. ස්ථිර සංක්‍රමණික වීසා සමග මෙය බද්ධ නොවේ.

යෝජිත නව දෙමාපිය වීසා තාවකාලික වීසා ඛාණ්ඩයක් බැවින් එය ස්ථිර සංක්‍රමණික වීසා සමග සම්බන්ධයක් නොමැත. මෙම වීසා ඛාණ්ඩයේ සිටියදී පවා ස්ථිර දෙමාපිය වීසා සඳහා අයදුම් කළ හැකිය.

3. යෝජිත නව දෙමාපිය වීසා හිමියන්ට සෞඛ්‍යය සහ සුබ සාධන සේවා අයත් නොවේ.

මෙය තාවකාලික වීසා ඛාණ්ඩයක් බැවින් Medicare හෝ රජයේ සුබ සාධන සේවා නොලැබේ.

4. වීසා හිමියන් හට පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණයක් තිබිය යුතුය.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර අදාළ දෙමාපියන් හට ඔස්ට්‍රේලියානු පුද්ගලික ආයතනයකින් සෞඛ්‍යය රක්ෂණ ආවරණයක් ලබා ගත යුතු බව රජය පවසයි.

5. දෙමාපියන් හට ඔවුන්ගේ දරුවකු විසින්ම අනුග්‍රාහකත්වය සැපයිය යුතුය.

යෝජිත නව දෙමාපිය වීසා අයදුම් කිරීමේදී අදාළ දෙමාපියන් හට තම දරුවකු අනුග්‍රාහකත්වය සැපයිය යුතුය.

එය ආර්ථිකමය වශයෙන්ම නොව සාමාජීය වශයෙන්ද අපේක්ෂා කෙරේ. උදාහරණයක් ලෙස භාෂාමය ගැටලුවකදී මැදිහත් වීම.

අනුග්‍රාහකත්වය සපයන්නා සැලකිය යුතු කාලයක් ඔස්ට්‍රේලියාවේ වාසය කරන බවද මුල්‍යමය වශයෙන් අනුග්‍රහය සැපයීමට සුදුසු බවද ඔස්ට්‍රේලියානු ආර්ථිකයට දායකත්වයක් සපයන බවද ඔප්පු කළ යුතුය.

6. බැඳුම්කරයක් ගෙවිය යුතු වේ.

අනුග්‍රහය සපයනවාට අමතරව අනුග්‍රාහකයා විසින් බැඳුම්කරයක්ද ගෙවිය යුතු වේ.

යම් කිසි  විටෙක අනුග්‍රහකයාට දෙමාපිය වියදම් වලින් යම් වියදමක් ගෙවීමට අපහසු වූ  විට එහි පාඩුව පිරිමසා ගැනීමට මෙම බැඳුම්කර මුදල භාවිත කරයි. නමුත් මේ වනවිටත් එම මුදල තීරණය කර නොමැත.

7. ඉංග්‍රීසී උගත් බව අවශ්‍යතාවක් විය හැකිය.

ඉංග්‍රීසී උගත් සහ ඒ පිළිබඳ දැනුමක් ඇති අය මෙරට සමාජය සමග ඉක්මණින් මුසු වීමට ඉඩ කඩ වැඩි බව පසුගිය මාසයේ ඉදිරිපත් වූ ඔස්ට්‍රේලියානු පලදායිතා වාර්තාව පෙන්වා දෙයි.

8. රැකියා කිරීමේ අයිතිය තවමත් තීරණය කර නොමැත.

යෝජිත නව දෙමාපිය වීසා යටතේ රැකියා කිරීමේ අයිතිය පිළිබඳ තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

9. වසරකට නිකුත් කරන වීසා ප්‍රමාණය අසීමාන්තික විය හැකිය.

මේ වන විට වසරකට දෙමාපිය වීසා 8000ක් පමණ  තිබෙන අතර යෝජිත නව වීසා කොපමණ ප්‍රමාණයක් වසරකට නිකුත් කරනවාද යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නොමැත.

10. වයස් සීමාවක් යෙදිය හැකි වේ.

යෝජනා පත්‍රයට අනුව නව යෝජිත දෙමාපිය වීසා සම්බන්ධ වයස් සීමාව පිළිබඳ ප්‍රශ්න කර තිබේ. නමුත් යෝජනා පත්‍රය සීමා සහිත වයසක් පිළිබඳ සඳහන් කර නොමැත.

11. ඇතැම් කරුණු තවමත් අපැහැදිලිය

මෙම කරුණ සම්බන්ධව ඇතැම් කාරණා තවමත් අපැහැදිලි තත්ත්වයක් පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන් දෙමාපියන් ඔස්ට්‍රේලියාවේ සිටින විට අනුග්‍රාහකත්වය සැපයූ දරුවා මිය ගිය හොත් දෙමාපියන් හට කුමක් වේවිද යන කරුණු පිළිබඳ අවධානය යොමුව තිබේ.

12. ඔබේ අදහස් ඔබට පැවසිය හැකිය.

මෙම නව දෙමාපිය වීසා ක්‍රමය පිළිබඳ අදහස් සැපයීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සමස්ත ජනයාටම අවස්තාව හිමි වේ.

මෙම යෝජනා පත්‍රය    දරන වෙබ් ලිපිනයෙන් ඔබට බාගත කර ගත හැකි වේ.

දෙමාපිය වීසා තවත් වර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සහ ඒ හා සම්බන්ධ ගැටළු පිළිබඳ මෙම යෝජනා පත්‍රය මගින් මහජනතාවට තම අදහස් යොමු කළ  හැකිය.

පිරවූ යෝජනා පත්‍ර  යන ඊමේල් ලිපිනයට යොමු කළ  හැකි අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් 2016 ඔක්තෝබර් 31 දින මධ්‍යම රාත්‍රිය දක්වා යෝජනා පත්‍ර යොමු කිරීමේ අවස්තාව  පවතියි.

එම වේලාවෙන් පසුව යොමු කෙරෙන යෝජනා පත්‍ර නොසළකා හරින බවද ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවපවසයි.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි)

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”




Share
Published 30 September 2016 2:54pm
Updated 12 August 2022 4:02pm
By Dinesha Dilrukshi Wijesuriya, Ben Winsor
Source: SBS News


Share this with family and friends