ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම අන් ප්‍රධාන රටවල් සමග සැසඳෙන අයුරු. (SBS සිංහල/වාර්තා)

විවිධ රටවල් 150 ක සංක්‍රමණිකයින් 16,000 කට වඩා වැඩි ප්‍රමාණයක් හෙටට යෙදී ඇති ඔස්ට්‍රේලියානු දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වීමට නියමිත පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සව 400 කදී තම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානමින් සිටියි.

Becoming a new citizen: How Australia compares

Source: SBS

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව අනෙකුත් ප්‍රධාන රටවල මෙම කටයුත්ත සිදු කරන අයුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ.

ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් නව සංක්‍රමණිකයින් අවම වශයෙන් වසර 4ක් හෝ ඔස්ට්‍රේලියාවේ වාසය කළ යුතු වේ.

ඔවුන් පුරවැසිභාවය සඳහා පවත්වනු ලබන පරීක්ෂණයෙන් සමත් විය යුතු වේ. එහි සමත් කිරීමේ කඩඉම් ලකුණු ප්‍රමාණය 75/100 වේ. එහිදී ඉංග්‍රීසි භාෂාවේ දනුවත්බව, ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ හා දේශපාලනික ක්‍රියාවලියේ ඉතිහාසය පිළිබඳ පරීක්ෂා කෙරේ.

මීට අමතරව අදාළ සංක්‍රමණිකයින් ගේ චරිතය පිළිබඳවද පරීක්ෂා කෙරේ.

මේ සඳහා වන වියදම ඔස්ට්‍රේලියානු ඩොලර් 285 ක් වන නමුත් පළමුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරගෙන සිටිය යුතු වේ.

ඒ සඳහා එක් අයදුම් කරුවෙකු හට ඔස්ට්‍රේලියානු ඩොලර් 3,060 ක් වැයවෙනු ඇත.

එක්සත් රාජධානිය

එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා දීමේ ආකෘතිය ඔස්ට්‍රේලියානු ආකෘතියට බොහෝ දුරට සමාන වේ.

එක්සත් රාජධානියේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් නව සංක්‍රමණිකයින් අවම වශයෙන් වසර 5ක් හෝ එක්සත් රාජධානියේ වාසය කළ යුතු වේ.

ඔවුන්ගේ හැසිරීම හොඳ මට්ටමක තිබෙන බව ඔවුන් ඔප්පු කළ යුතු අතර බරපතල හෝ මෑතක සිදුවූ අපරාධ වාර්තා ඇතිනම් ඔවුන් හට පුරවැසිභාවය සඳහා අයදුම් කළ නොහැකි වේ.

එක් අයදුම්කරුවෙකු හට බ්‍රිතාන්‍ය පවුම් 1236 ක් පමණ වැය වෙන අතර එය ඔස්ට්‍රේලියානු ඩොලර් 2000 ක් පමණ වේ.

සංක්‍රමණිකයින් තම ඉංග්‍රීසි දැනුම ප්‍රත්‍යක්ෂ කළ යුතු අතර එසේ නොමැතිනම් ඔවුන් වයස අවුරුදු 65 ට වඩා වැඩි විය යුතු හෝ දීර්ග කාලීන ශාරීරික හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළිය යුතු වේ.

පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී 'Life in the UK' නමැති පරීක්ෂණයට මුහුණ දිය යුතු අතර එය බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය හා සිරිත් විරිත් පිළිබඳ විමසන ප්‍රශ්න 24 කින් සමන්විත වේ.  ඒ සඳහා බ්‍රිතාන්‍ය පවුම් 50 ක් වැය වෙන අතර කාලය මිනිත්තු 45 ක් වේ.

කැනඩාව

වයස අවුරුදු 14 ත් 64 ත් අතර පිරිසට කැනඩාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිය. ඔවුන්ටද ඒ සඳහා පරීක්ෂණයක් පවත්වන අතර එහිදී කැනඩාවේ ඉතිහාසය, මැතිවරණ ක්‍රමය, වටිනාකම් සහ ආයතන පිළිබඳ විමසීමක් කරයි.

එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම පුරවැසිභාවය පිළිබඳ කටයුතු කරනු ලබන නිලධාරියෙකු සමග සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වේ.

එහිදී පහත සඳහන් ප්‍රශ්න අසනු ලබයි.

1. කැනේඩියානු පුරවැසියෙකු සතු හිමිකම්, නිදහස හා වගකීම්.

2. කැනඩාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා කැනේඩියානු සමාජයේ කොටස් කරුවෙකු වීම.

3. කැනඩාවේ දේශපාලන හා හමුදා ඉතිහාසය.

4. කැනේඩියානු සමාජ හා සංස්කෘතික ඉතිහාසය සහ සංකේත.

5. කැනේඩියානු භෞතික හා දේශපාලන භූගෝලය.

ඊට අමතරව අදාළ අයදුම්කරුවන් කැනඩාවේ ප්‍රධාන භාෂා ද්විත්වය වන ඉංග්‍රීසි හෝ ප්‍රංශ යන දෙකින් එකක් හෝ අවම වශයෙන් කතා කිරීමට සහ ලිවීමට දන සිටිය යුතුය.

කැනඩාවේ වසර 4 ක් හෝ අවම වශයෙන් සිටි සංක්‍රමණිකයින් හට මේ සඳහා අයදුම් කළ හැකි අතර ඒ සඳහා කැනේඩියානු ඩොලර් 500 ක මුදලක් වැයවේ.

නෙදර්ලන්තය.

නෙදර්ලන්තයේ පුරවැසිභාවය පිරි නැමීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමට වසරක් පමණ ගත වන බව පැවසේ.

නෙදර්ලන්තයේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් නව සංක්‍රමණිකයින් අවම වශයෙන් වසර 5ක් හෝ නෙදර්ලන්තයේ වාසය කළ යුතු වේ.

නෙදර්ලන්තයේ සමාජයට තමන් හොඳින් බද්ධ වී ඇති බව අදාළ අයදුම්කරුවන් ප්‍රත්‍යක්ෂ කළ යුතු වන අතර ඕලන්ද භාෂාව කියවීමට, ලිවීමට සහ කතා කිරීමට හැකි විය යුතුය.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Linda Kirk ට අනුව නෙදර්ලන්තයේ පවත්වන පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය ලොව ක්‍රියාත්මක ආන්දෝලනාත්මක පරීක්ෂණය වේ.

එහිදී සාමාජ න්‍යායන් සහ සංස්කෘතික අවබෝධය විමසා බලයි.

අදාළ අයදුම්කරුවන් වෙනත් පුරවැසිභාවයන් ප්‍රතික්ෂේප කළ යුතු අතර එක් අයදුම්පතක් සඳහා යූරෝ 855 ක් වැයවේ.

ඔස්ට්‍රියාව

ඔස්ට්‍රියානු පුරවැසිභාවය, ලොව ලබාගත හැකි අසීරුම පුරවැසිභාවයන් වලින් එකකි.

අදාළ අයදුම්කරුවන් මේ සඳහා සුදුසුකම් ලබාගැනීමට වසර 30 ක් දක්වා බලා සිටිය යුතු වේ. ඔවුන්ද වෙනත් පුරවැසිභාවයන් ප්‍රතික්ෂේප කළ යුතු වේ.

තමන් ඔස්ට්‍රියානු සමාජයට නිසි ලෙස බද්ධ වී ඇති බව ප්‍රත්‍යක්ෂ කළ යුතු අතර ජර්මානු භාෂාව, ඔස්ට්‍රියානු ඉතිහාසය හා කාලීන තොරතුරු පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.

තමන්ට සුරක්ෂිත ආදායමක් සහ අපරාධ රහිත ඉතිහාසයක් ඇති බව අයදුම්කරුවන් ඔප්පු කළ යුතු වේ.

චීනය

චීනයේ පුරවසිභාවය ලබා ගැනීම සැබවින්ම අපහසු වන අතර චීන පුරවැසියෙකු විවාහ කරගත් නමුත් එය අපහසු වේ.

චීන නීතියට අනුව විදේශිකයන් හට මේ සඳහා අයදුම් කළ හැකි වන්නේ ඔවුන් හට සමීප නෑදෑයෙකු චීනයේ සිටිය යුතු අතර රට තුළ ස්ථාපිත විය යුතු හෝ පුරවැසිභාවයට නීත්‍යානුකූල හේතු තිබිය යුතුය. නමුත් එම නීත්‍යනුකූල බව ඇත්තෙන්ම පැටලිලි සහිතය.

චීනය ද්විත්ව පුරවැසිභාවය අනුමත නොකරයි.

ඩොමිනික් ජන රජය

රජයේ ව්‍යාපෘති සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 175,000 ක් සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 200,000 ක් හෝ ආයෝජනය කරන විදේශිකයන්ට මාස 6 ක් වැනි කෙටි කලකදී ඩොමිනික් ජන රජයේ පුරවැසිභාවය පිරි නමයි.

මෙහි පුරවැසිභාවය ලබා ගැනීමේදී තමන්ගේ පවතින පුරවැසිභාවය අහෝසි කිරීමට අවශ්‍ය නොවේ.

භාෂා හෝ අධ්‍යාපන අවශ්‍යතා පරීක්ෂා නොකරන නමුත් අයදුම්කරුවන් හට අපරාධවලින් තොර ඉතිහාසයක් තිබිය යුතු අතර මනා සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතු වේ.

Share
Published 25 January 2017 10:05pm
Updated 26 January 2017 1:35pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends