ඔබ ආහාරයට ගන්නේ නැවුම් එළවළුද ? අධි ශීත කළ එළවළුද ? එසේනම් මෙම ලිපිය කියවන්න. (SBS සිංහල/වාර්තා)

“අධි ශීත කළ එළවලු වලට වඩා නැවුම් එළවලු ගුණදායී බව පදනම්ව ඇත්තේ ඒවායේ කෙතරම් නැවුම් ද යන්න මතයි. ඔබ ඔබේ ගෙවත්තෙන් අදාළ එළවලු නෙලා ගන්නවානම් එහි නැවුම් ස්වභාවය පිළිබඳ විවාදයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ අප මිලදී ගන්නා එළවලු අප වෙත පැමිණීමට බොහෝ දුරක් ගෙවා පැමිණෙයි. ඇතැම් විට දින ගණනාවක් වෙන්නත් පුළුවන්. එසේ දින ගණන් ගත වත්ම ඒවායේ ඇති නැවුම් ස්වභාවයද කෙමෙන් කෙමෙන් හීන වන බවද කිව යුතුයි.”

Healthy Food

Source: www.organiclivingchic.com

ඔබ මිලදී ගනු ලබන එළවලු ආහාරයට නොගෙන ශීතකරණය තුළ දින ගණනාවක් තිබීම නිසා නරක්වීමට භාජනය වන අතර අවසානයේ ඒවා කසල ලෙස බැහැර කිරීමට ඔබට සිදුවේ.

මෙසේ කසල ලෙස බැහැර කෙරෙන නරක්වූ එළවලු සහ පළතුරු ප්‍රමාණය සැලකිය යුතු තරමේ ප්‍රමාණයක් බව ගණන් බලා ඇත.

නමුත් අධි ශීත කළ එළවලු පිළිබඳ අවධානය යොමු කළහොත් ඔබට මෙම අලාභයෙන් බේරීමට හැකි බවද වාර්තා වේ.

නමුත් අධි ශීත කළ එළවලු සහ පළතුරු වලට වඩා නැවුම් එළවලු සහ පළතුරු වඩා හොඳ බවට පොදුවේ මතයක් පවතියි.

නමුත් අධි ශීත කළ එළවලු එසේ තත්ත්වයෙන් බාල නොවන බව Dietitians Association of Australia හි නියෝජිත Melanie McGrice පවසයි.

“අධි ශීත කළ එළවලු වලට වඩා නැවුම් එළවලු ගුණදායී බව පදනම්ව ඇත්තේ ඒවායේ කෙතරම් නැවුම් ද යන්න මතයි. ඔබ ඔබේ ගෙවත්තෙන් අදාළ එළවලු නෙලා ගන්නවානම් එහි නැවුම් ස්වභාවය පිළිබඳ විවාදයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ අප මිලදී ගන්නා එළවලු අප වෙත පැමිණීමට බොහෝ දුරක් ගෙවා පැමිණෙයි. ඇතැම් විට දින ගණනාවක් වෙන්නත් පුළුවන්. එසේ දින ගණන් ගත වත්ම ඒවායේ ඇති නැවුම් ස්වභාවයද කෙමෙන් කෙමෙන් හීන වන බවද කිව යුතුයි.” Melanie McGrice පවසයි.

අනෙක් අතට අධි ශීත කළ එළවලු වල පෝෂ්‍යදායී සංඝටක අධි ශීතකරණ ක්‍රියාවලිය අතරතුර මුද්‍රා තැබීමක් සිදුවෙයි.

“මම කියන්නේ නැහැ නැවුම් එළවලු සහ පළතුරු හොඳ තේරීමක් නෙමෙයි කියලා. ඒවා නැවුම් ලෙස ලබා ගන්න හැකිනම් ඇත්තටම එය විශිෂ්ඨයි. නමුත් අධි ශීත කළ එළවලු ඉතා හොඳ වලංගු විකල්පයක්.”  Melanie McGrice වැඩි දුරටත් පැවසුවාය.

ඊට අමතරව අධි ශීත කළ එළවලු සති ගණනක් ආහාරයට නොගෙන තිබුණ ද ඒවා නරක් නොවී භාවිතයට ගැනීමට හැකි නිසා ආහාර අපතේ යාම ද මග හැරෙන බව ඇය පෙන්වා දෙයි.

අධි ශීතකරණ ක්‍රියාවලිය.

එළවලු නෙලා ගත් විගසම විශේෂ යන්ත්‍ර අනුසාරයෙන් සෙල්සියස් අංශක 18 උෂ්ණත්වයට ශීත කරනු ලබයි.

ඒවායේ ඇති පෝෂ්‍යදායී සංඝටක එම අධි ශීතකරණ ක්‍රියාවලිය සමගම මිදෙන අතර ඒවා එම එළවලු වල නොනැසී පවතියි.

එම තත්ත්වය හේතුවෙන් නැවුම් එළවලු වලට වඩා අධි ශීත කළ එළවලු වල බහුල විටමින් ප්‍රමාණයක් ඔබට ලබා ගත හැකි වීමද විශේෂත්වයකි.

එසේනම් ඔබ මිලදී ගත යුත්තේ මොනවාද?

ඔබ සතිපතා භාණ්ඩ මිලදී ගනු ලබනවා නම් නැවුම් සහ අධි ශීත කළ එළවලු සමසේ මිලදී ගන්න.

ආහාර පිසීමේදී නැවුම් එළවලු පළමු දින කිහිපයේ පිසින්නට වග බලා ගත යුතු අතර අනතුරුව අධි ශීත කළ එළවලු පිසගත හැකිය.

පහත දැක්වෙන්නේ නැවුම් සහ අධි ශීත කළ එළවලු වල සාධනීය හා නිෂේධනීය ලක්ෂණ කිහිපයකි.

නැවුම් එළවලු

  • අධි ශීත කළ එළවලු වලට වඩා රසින් වැඩිය.
  • නැවුම් එළවලු වල ස්වභාවය සාමාන්‍යයෙන් හොඳය.
  • ඔබ මේවා සෘජුවම ගෙවත්තෙන් නෙලා ගතහොත් එහි පෝෂ්‍යදායී ගුණය ඉහළය.
අධි ශීත කළ එළවලු

  • නෙලාගත් විගස පෝෂ්‍යදායී සංඝටක අධි ශීතකරණය වෙයි.
  • මාසයක කාලයක් වුවද නරක නොවී පහසුවෙන් ගබඩා කරගත හැකිය.
  • අවාරයේ පවා අපට අවශ්‍ය එළවලු සහ පළතුරු ලබා ගත හැකිය.
  • අපගේ ආහාර වේලට විවිධත්වයක් එක් කරයි.
  • අධි ශීතකරණය කළ එළවලු හිමාහරණය කිරීමෙන් අනතුරුව එළවලු වල සෛල බිත්ති හානි වීම නිසා තෙත බරිත ගතියක් ගනියි.

Share
Published 25 May 2017 9:07am
Updated 25 May 2017 9:11am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends