එළඹෙන දශකය තුළ මෙල්බන් නුවර ජල හිඟයක්. (SBS සිංහල/වාර්තා)

මෙල්බන් නුවර ජනගහනය ශීඝ්‍රව ඉහළ යාම නිසා ජල පරිභෝජනය ඉහළ යාම මෙන්ම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් දැඩි නියං අවස්ථා උදාවීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතවිය හැකි බව Melbourne Water ආයතනය සිදු කළ විමර්ශනයේදී හෙළිවී ඇත.

Reservoir aerial Tarago

Reservoir aerial Tarago Source: Melbourne Water

එළඹෙන දශකය තුළ මෙල්බන් නුවර ජල හිඟයක් ඇතිවීමේ තර්ජනයක් මතුව පවතින බව Melbourne Water ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ඒ අනුව මෙල්බන් නුවරට ජලය සපයන සැපයුම්කරුවන් එම අර්බුදයට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ සැලසුම් සකස්කිරීමට මේ වන විට ආරම්භ කර තිබේ.

මෙල්බන් නුවර ජනගහනය ශීඝ්‍රව ඉහළ යාම නිසා ජල පරිභෝජනය ඉහළ යාම මෙන්ම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් දැඩි නියං අවස්ථා උදාවීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතවිය හැකි බව Melbourne Water ආයතනය සිදු කළ විමර්ශනයේදී හෙළිවී ඇත.

එම වාර්තාවට අනුව වසර 2028 වන විට ජල ඉල්ලුම, සැපයුමට වඩා වැඩි වන අතර තවත් වසර 50 ක් ඇතුළත මෙල්බන් නගරය ජලය හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙයි.
ඇස්තමේන්තු කර ඇති ආකාරයට මෙල්බන් නුවර ජනගහනය 2065 වන විට දෙගුණයක් වීමට නියමිත අතර නගරය පුරා බහුලව මහල් නිවාස සංකීර්ණ සහ කුඩා ප්‍රමාණයේ නිවාස රැසක් දක්නට හැකි වේ.
“මේ හේතුවෙන් ජල පරිභෝජනය අඩු වන  නිසා ධනාත්මක බලපෑමක් ද ඇති වීමට ඉඩතිබෙනවා, උදාහරණ වශයෙන් නිවාස කුඩා වන විට ගෙදරදොරේ ජල පරිභෝජනය අඩුවෙනවා, ගෙමිදුල කුඩා වන විට එයට භාවිතා කරන ජල ප්‍රමාණය අඩුවෙනවා” එම වාර්තාව පෙන්වා දෙයි.

නමුත් කුඩා ප්‍රමාණයේ නිවාස රාශියක් පිහිටීම අනෙක් පසින් අභියෝගාත්මක වන අයුරුද තිබෙන බව එම වාර්තාව පවසයි.

උදාහරණ ලෙස නිවාස එකිනෙකට ආසන්නව පිහිටා ඇති හෙයින් නාගරික තාපය වැඩිවේ. මීට අමතරව වැසි ජලය බැසයාමට ස්ථාන අවම වීම නිසා ගංවතුර ඇතිවීමේ ඉහළ අවදානමක් පවතියි. එමගින් ජීවිත හානි ඇතිවීමටද ඉඩ තිබේ.

එමෙන්ම, ගංගා, ඇළ දොළ වැනි ජලාශ වලටද එය අහිතකර ලෙස බලපායි.

වික්ටෝරියා ප්‍රාන්තය මෙම අනතුරු ඇඟවීම පිළිබඳ අනිවාර්යෙන් සැළකිලිමත් විය යුතු බව Environment Victoria සංවිධානයේ Nicholas Aberle පැවසීය.

“අපිට මේ වන විටත් මේ අර්බුදයට විසඳුම් සොයන්න ප්‍රමාණාත්මක කාලයක් තිබෙනවා. දේශගුණික විපර්යාසය හිතන තරම් රළු නොවේවි කියා සිතමින් නිකරුනේ කල් ගෙවුවහොත් ඇත්තෙන්ම මෙය උග්‍ර අර්බුදයක් වනු ඇති.” ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම වසරේ ශීත කාලය ආරම්භය වික්ටෝරියානු ඉතිහාසයේ වියළීම ආරම්භය බව ද වාර්තා වේ.

යෝජිත විසඳුම්

මෙම වාර්තාව නිකුත්වනවාත් සමගම මෙල්බන් නුවර ප්‍රධාන ජල සැපයුම්කරුවන් සිව්දෙනා වන City West Water, South East Water, Yarra Valley Water සහ  Melbourne Water යන සමාගම් මෙම අර්බුදයට යෝජිත විසඳුම් කිහිපයක් ලබා දී තිබේ.
වික්ටෝරියානු ප්‍රන්තයේ සෑම නිවෙසකටම හා ව්‍යාපරික ස්ථානයකටම ඩිජිටල් ජල මීටරයක් සවි කිරීම ඉන් එක් ප්‍රධාන යෝජනාවකි.
ජල පරිභෝජනය මනාව සහ නිවැරදිව අධීක්ෂණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් යම් කිසි ජල වෑස්සුමක් සිදුවූ විට එය හැකි විගස හදුනාගෙන පිළිසකර කිරීමට අවස්තාව ලැබෙන බවත් ඔවුන් පවසයි.

මීට අමතරව විකල්ප සැපයුම් ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය, වැසි ජලය සහ භූගත ජලය පිළිබඳවද  ඔවුන් අවධානය යොමු කර තිබේ.

Share
Published 24 July 2017 8:06am
By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends