අධික පාඩුව හේතුවෙන් ඔස්ට්‍රේලියානු වාණිජ රූපවාහිනී නාලිකා වලින් ළමා වැඩසටහන් නවතින ලකුණු. (SBS සිංහල/වාර්තා)

අද වන විට ළමුන් බොහොමයක් සාම්ප්‍රදායික ලෙස රූපවාහිනිය නරඹනවා වෙනුවට විවිධ මාධ්‍ය ඔස්සේ ළමා වැඩසටහන් නැරඹීම මීට ප්‍රධානතම හේතුව වේ.

Australian commercial television networks want to scrap children's content quota.

Source: www.rollingstone.com

තමන් නිෂ්පාදනය කරන රූපවාහිනී ළමා වැඩසටහන් නැවත්වීමට ඔස්ට්‍රේලියාවේ නොමිලේ නැරඹිය හැකි වාණිජ රූපවාහිනී නාලිකාවල ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් පවසන පරිදි තම නාලිකා ඩොලර් මිලියන ගණනක් වියදම් කර එම වැඩසටහන් නිෂ්පාදනය කළද ඒවා නරඹන්නේ දහස් ගණනක් බවය.

චිත්‍රපට සහ රූපවාහිනී කර්මාන්තයේ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශනය සඳහා ඔස්ට්‍රේලියාවේ Seven, Nine සහ Ten යන වාණිජ රූපවාහිනී නාලිකා වල ප්‍රධාන විධායකයින් ඊයේ (20/07) සිඩ්නි නුවරදී රැස් විය.

එහිදී ඔවුන්ගේ තරගකාරී කෝන්තර පසෙකලා ළමා වැඩසටහන් පිළිබඳ මැසිවිල්ල එක්ව ප්‍රකාශ කරන්නට යෙදුනු බව වාර්තා වේ.

එහිදී අන්තර්ජාතික මාධ්‍ය දැවැන්තයින් වන Google, Apple සහ Netflix යන ආයතන වලින් දේශීය වාණිජ රූපවාහිනී වලට ඇති තර්ජනය පිළිබඳ ඔවුන් විශේෂයෙන් අවධානය යොමු කර තිබේ.

අදාළ රූපවාහිනී නාලිකා වල විකාශය වන වැඩසටහන් පසෙකලා අන්තර්ජාලය ඔස්සේ වැඩසටහන් නැරඹීමට ප්‍රේක්ෂකයින් පුරුදු වෙමින් සිටීම විශාලතම අභියෝගය බවද එහිදී සඳහන් විය.

මේ අතර අන්තර්ජාතික රූපවාහිනී කතාංග SBS රූපවාහිනිය මගින් වැඩිම මිලකට මිලට ගැනීමද එහිදී කතාබහට ලක්වී ඇත.

The Handmaid's Tale කතාංගය වැඩිම මිලකට ඉල්ලීමට SBS රූපවාහිනිය යොමුවී ඇතැයි Nine රූපවාහිනී නාලිකාවේ Hugh Marks හෙළිදරව් කළේය.

නමුත් ඔස්ට්‍රේලියාවේ වාණිජ රූපවාහිනී නාලිකා වලට අනිවාර්ය කර ඇති වසරකට පැය 130 ක ළමා වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ පැය 32 ක නාට්‍ය නිෂ්පාදනය කිරීමට (එක් නාලිකාවක් බැගින්) ඇති අපහසුතාව පිළිබඳව එහිදී මූලිකව සාකච්ඡා විය.

“අපිට බොහොම පැහැදිලියි වාණිජ රූපවාහිනී නාලිකා වලින් ළමුන් සඳහා නිෂ්පාදනය කරන ළමා වැඩසටහන් ඔවුන් නරඹන්නේ නැති බව. දහස් ගණනකගේ නැරඹීම උදෙසා අපි ඩොලර් මිලියන ගණනක් වියදම් කරනවා. සමහර වැඩසටහන් සඳහා නරඹන්නන් සිටින්නේ 6000 ක් වගේ ප්‍රමාණයක්.” Seven නාලිකාවේ Tim Worner පැවසීය.

අද වන විට ළමුන් බොහොමයක් සාම්ප්‍රදායික ලෙස රූපවාහිනිය නරඹනවා වෙනුවට විවිධ මාධ්‍ය ඔස්සේ ළමා වැඩසටහන් නරඹන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ ළමුන් සඳහාම වෙන්වූ ABC Kids රූපවාහිනී නාලිකාව පිළිබඳවද එහිදී කතාබහට ලක්වූ අතර ළමුන් එම නාලිකාව භාවිතා කරන්නේද ප්‍රමාණාත්මකව අඩු මට්ටමකින් බව Tim Worner පැවසීය.

මේ හේතුන් මත ඔස්ට්‍රේලියාවේ වාණිජ රූපවාහිනී නාලිකා වලට රජයෙන් නියම කර ඇති ළමා සහ පෙර පාසල් වැඩසටහන් සඳහාවූ කෝටාව අහෝසි කරන ලෙස Ten රූපවාහිනී නාලිකාවේ Paul Anderson, ඊයේ පාර්ලිමේන්තු විමර්ශන කමිටුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ පසුගිය මුල්‍ය වර්ෂය තුළ ABC ඇතුළු අනෙකුත් වාණිජ රූපවාහිනී නාලිකා, පැය 115 ක ළමා වැඩසටහන් නිෂ්පාදනය කර ඇති බවත් ඒ සඳහා ඩොලර් මිලියන 101 ක පිරිවැයක් දරා ඇති බවත් Screen Australia වාර්තාව සඳහන් කරයි.

මේ සම්බන්ධ මීළඟ පාර්ලිමේන්තු විමර්ශන කමිටු රැස්වීම එළඹෙන ජූලි 26 වන දින මෙල්බන් නුවරදී පැවැත්වේ.

Share
Published 21 July 2017 11:17am
By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends