ඔස්ට්‍රේලියාවේ සුබ සාධනා දීමනා හිමියන්ට ලබන වසරේ සිට මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්. (SBS සිංහල/වාර්තා)

කංසා, ice හෝ ecstasy සඳහා ධනාත්මක (positive) වුවහොත් ඔවුන්ගේ සුබ සාධනා දීමනා වලින් 80% ක පමණ කප්පාදුවක් සිදුවන අතර නිවාස කුලිය, ළමා සුරැකුම් සහ ආහාර යන දේවල් වලට පමණක් වියදම් කළ හැකි මූලික කාඩ්පතක් ලබා දෙනු ඇත.

New drug test will commence on January for Welfare recipient in Australia.

Source: ABC Australia

ඔස්ට්‍රේලියාව තුළ සිටින නව සුබ සාධන දීමනා හිමියන් සඳහා ලිබරල් සන්ධාන රජය විසින් ඉදිරිපත් කිරීමට යන මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ස්වාධීන සෙනට් සභික Nick Xenophon සහය දක්වන බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව Nick Xenophon ගේ ස්වාධීන කණ්ඩායමේ සහය ලැබීම මත ලිබරල් සන්ධාන රජයේ මෙම යෝජනාවට සෙනට් සභාව තුළ බහුතරයක් හිමිවන බව පෙනී යයි.

දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් සෙනට් සභාවට පැමිණි Nick Xenophon ගේ කණ්ඩායම සතුව සෙනට් ආසන 3 ක් හිමිව ඇති අතර සෙනට් ඡන්දයකදී ඒවා අතිශය තීරණාත්මක වෙයි.
ඔස්ට්‍රේලියාවේ ධනය අනිසි ලෙස පරිභෝජනය කිරීමේ බරපතල ගැටළුවක් පවතින බවත් විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ජනතාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් ගලවාගැනීමට වත්මන් රජය සමග ඵලදායී ලෙස එකමුතුව කටයුතු කිරීමට කැමති බව Xenophon පැවසීය.
“මේ රටේ බොහෝ පුද්ගලයින් මෙවැනි වූ ඇබ්බැහිවීම් වලට ලක්වෙලා ඉන්නවා කියලා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ට මේ රටේ ශ්‍රම බලකායට ඇතුළත් වන්නට බැරි විශාල ප්‍රශ්නයක් ද තිබෙනවා.” ඔහු වැඩි දුරටත් පැවසීය.

සෙනට් මණ්ඩලයේ අනුමැතිය මත ඔස්ට්‍රේලියාවේ වෙන් වෙන් ස්ථාන තුනක නව රැකියා සොයන්නන් 5,000 ක් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් කිරීමට ලබන ජනවාරි මාසයේ දී රජය සූදානම් වෙයි.

මේ අනුව මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමේ පළමු කලාපය ලෙස බටහිර සිඩ්නි හි Canterbury-Bankstown නගර සභාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තෝරාගෙන තිබේ.

රැකියා සොයන්නන් විශාල සංඛ්‍යාවක් සුබ සාධන දීමනා සඳහා අයදුම් කිරීම සහ methamphetamine ආශ්‍රිතව රෝහල් ගතවීමේ ප්‍රතිශතය ඉහළ යමින් පැවතීම මෙසේ Canterbury-Bankstown නගර සභාව මේ සඳහා තෝරාගැනීමට විශේෂ අවධානය යොමු විය.
ඒ අනුව ඔවුන් කංසා, ice හෝ ecstasy සඳහා ධනාත්මක (positive) වුවහොත් ඔවුන්ගේ සුබ සාධනා දීමනා වලින් 80% ක පමණ කප්පාදුවක් සිදුවන අතර නිවාස කුලිය, ළමා සුරැකුම් සහ ආහාර යන දේවල් වලට පමණක් වියදම් කළ හැකි මූලික කාඩ්පතක් ලබා දෙනු ඇත.
දෙවැනි පරීක්ෂණය ද ධනාත්මක වුවහොත් අදාළ පුද්ගලයාට එම පරීක්ෂණයේ ගාස්තු ගෙවීමට සිදුවන අතර ඔහුව හෝ ඇයව ප්‍රතිකාර සඳහා යොමු කරනු ඇත.

මත්ද්‍රව්‍ය භාවිතාකරන්නන් හට දඬුවම් නොව ප්‍රතිකාර ලබා දෙනු ලැබේ.

මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාව සුබ සාධන දීමනා ලබන්නන් හට අමතර පීඩනයක් එල්ල කරන ක්‍රියාවක් බවත් මෙයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම අඩු නොවන බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය සහ මාධ්‍යසාර විශේෂඥයෙකු පවසයි.
නමුත් මෙම ක්‍රියාවලිය මගින් අදාළ පුද්ගලයින් හට දඬුවම් කිරීම හෝ දඩ මුදල් නියම කිරීම රජයේ අරමුණ නොවන බවත් සුබ සාධන දීමනා අනිසි ලෙස පරිභෝජනය වැළක්වීම සහ අදාළ පුද්ගලයින්ව රටේ ශ්‍රම බලකායට ඇතුළත් කිරීම පමණක් සිදුවන බව සමාජ සේවා අමාත්‍ය Christian Porter පැවසීය.
මත්ද්‍රව්‍ය පරීක්ෂාව ධනාත්මක (positive) වූ පමණින් ඔවුන්ගේ සුබ සාධන දීමනා කප්පාදු නොකිරීම ඊට හේතුව බවද ඔහු පෙන්වා දෙයි.

රජයේ මේ යෝජනාව සඳහා කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය එකහෙළා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

Share
Published 22 August 2017 9:43pm
By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends