මෙල්බන් නගරයේ මන්දාගාමීම වීදිය හඳුනාගනිමු. (SBS සිංහල/වාර්තා)

කාර්ය බහුල වෙලාවලදී මෙල්බන් නගර මධ්‍යයේ ඇති මන්දගාමීම වීදියේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 4,6 ක් ලෙස වාර්තා වන බව සඳහන්.

The slowest street in Melbourne CBD.

Source: The Age

මෙල්බන් නගරයේ මන්දාගාමීම වීදිය ලෙස සුප්‍රසිද්ධ Collins වීදිය හෙවත් Collins Street හඳුනාගෙන තිබේ.

McKell ආයතනයේ බුද්ධි මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද "keep Melbourne in the fast lane" නැමති නවතම වාර්තාවකට අනුව මේ බව හෙළිවී ඇත.

එයට අනුව බොහෝ වේලාවලදී Collins වීදියේ වාහන ධාවනය කරනවාට වඩා ඇවිද යාම වේගවත් බව සඳහන්.

නව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකරනවා වෙනුවට මෙල්බන් නුවර දිනෙන් දින ඉහළ යන වාහන තදබදය මග හරවාගැනීම ට ඇති උපාය මාර්ග පිළිබඳ දේශපාලන නායකයින් සිතිය යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙලබන් නුවර මෙම වාහන තදබදය පසුගිය වසරේ ආර්ථික ඵලදායීතාවයට ඩොලර් බිලියන 4.6 ක බලපෑමක් සිදු කර ඇති බවද පැවසේ.

මේ දිනවල මෙල්බන් නුවර ක්‍රියාත්මක වන Metro දුම්රිය උමග සහ level crossing removals හෙවත් දුම්රිය මාර්ග ගේට්ටු ඉවත් කිරීම වැනි ව්‍යාපෘති අත්‍යවශ්‍ය ඒවා වන නමුත් ඊට සමගාමීව ආර්ථික ඵලදායීතාවයට දැඩිව බලපාන රථ වාහන තදබදය අවම කිරීම සඳහාද විසඳුම් සෙවිය යුතු බව අදාළ වාර්තාව කරුණු දක්වයි.

ඒ අනුව මෙල්බන් නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා පහත ප්‍රධාන අදහස්  ත්‍රිත්වය ඉදිරිපත් එම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.
Melbourne CBD
Source: The Age

1. මෙල්බන් හි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ මංසන්ධි වල අවහිරය නැති කිරීම.

මෝටර් රථ සහ ට්‍රක් රථ මෙල්බන් නගර මධ්‍යයේ ඇති මංසන්ධි අවහිර කිරීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයකට මුල පුරන අතර එයින් වාහන ගමනා ගමනය මන්දගාමී කරයි.

Google සිතියම් ආධාරයෙන් ගෙවී යන අගෝස්තු මාසයේ එක් සතියක කාර්ය බහුලතම පැයකදී  Hoddle මංසන්ධියේ සාමන්‍ය වේගය පැයට කිලෝමීටර් 13 ටත් වඩා පහළ තිබු බව අදාළ වාර්තාව අනාවරණය කර තිබේ.

නමුත් මෙල්බන් නගර මධ්‍යයේ ඇති මන්දගාමීම වීදිය ලෙස Collins වීදිය හඳුනාගෙන ඇති අතර එහි කාර්ය බහුල වෙලාවලදී එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 4,6 ක් ලෙස වාර්තා වන බව සඳහන්.

බ්‍රහස්පතින්දා රාත්‍රිය වැනි කාර්ය බහුලතම රාත්‍රීන් වලදී තත්ත්වය ඊටත් වඩා අයහපත් බව පැවසේ.

මෙම වාහන තදබදයට රියදුරන් විසින් මාර්ග නීති කඩ කිරීමද බරපතල ලෙස බලපාන අතර එසේ නීති කඩ කරන රියදුරන් නීතියේ රැහැනට හසු කර දඬුවම් දීමට වැඩි වශයෙන් රථ වාහන කැමරා සවි කිරීම සහ රථ වාහන පොලිස් මෙහෙයුම් දියත් කිරීම යෝග්‍ය බවද ඔවුන් පෙන්වා දෙයි.
Sky Bus
Source: Sky Bus

2. CBD ගුවන් තොටුපොළ පර්යන්තය.

මෙල්බන් ගුවන් තොටුපොලෙන් පිටත් වන ඇතැම් ගුවන් මගීන් ගුවන් තොටුපොළ වෙත යාමට අදාළ “ගුවන් තොටුපොළ බස් රථයට” Southern Cross දුම්රිය ස්ථානයෙන් ගොඩ වීම සුලබ සිදුවීමකි.

මෙහිදී එම බසයට ගොඩවීමට පෙර ගුවන් තොටුපොළේ සිදු කරනවා මෙන් ගමන් මළුවල ආරක්ෂක පරීක්ෂාවන් සහ මගියාගේ ආරක්ෂක පරීක්ෂණ සිදු කර ඔවුන්ව check-in කළ පසුව Southern Cross දුම්රිය ස්ථානයෙන් ගුවන් තොටුපොළ බස් රථයට නංවා ගැනීම සිදු කිරීම යෝග්‍ය බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙවැනි ක්‍රමවේදයක් Hong Kong හි ක්‍රියාත්මක වන අතර එය "in-town check-in" සේවය ලෙස හැඳින්වේ.

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත දිව යන Tullamarine Freeway මාර්ගය ඩොලර් බිලියන 1.3 ක් වැය කර පුළුල් කෙරුණු අතර ටර්න්බුල් මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය මෙල්බන් ගුවන් තොටුපොල වෙතට දිව යන ගුවන් තොටුපොළ දුම්රියක් හෙවත් Airport rail link එකක් අවශ්‍ය බව අවසානයේ තීන්දු කර තිබේ.

ඒ සඳහා ඩොලර් මිලියන 30 ක පිරිවැයක් දැරීමට සිදුවන බවද ගණන් බලා ඇත.

නමුත් එම දුම්රිය මාර්ගය ඉදිකර විවෘත කිරීමට තවත් වසර 10 ක පමණ කාලයක් ගතවනු ඇති බව ද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පසුගිය වසරේදී ගුවන් මගීන් මිලියන 34 ක් පැමිණි බව වාර්තා වන අතර එළඹෙන 20 වසර තුළ එම ප්‍රමාණය දෙගුණ වන බවට ඇස්තමේන්තු කර තිබේ.
Melbourne CBD
Source: The Age

3. Uber බස් සේවාවන්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල බස් රථ ධාවනය නුසුදුසු බවට මතයක් ඇති අතර බස් රථවලින් ගමන් යාම පිළිබඳ මෙල්බන් වැසියන් එතරම් කැමැත්තක් නොදක්වන බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

2011 වසරේ සංගණන දත්ත වලට අනුව බස් රථ වලින් සේවයට වාර්තා කරන්නේ ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 1.4%  ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකි.

බොහෝ බස් රථ පැමිණෙන්නේ මිනිත්තු 30 කට හෝ 60 කට වරක් වීම, රාත්‍රී 9 න් පසුව බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ධාවනය වීම, ඇතැම් බස් රථ ඉරිදා දිනවල ධාවනය නොවීම, බොහෝ බස් රථ සෘජු ගමන් මාර්ග භාවිත නොකිරීම, ඇතැම් විට බස් රථ සඳහා ප්‍රමුඛතා මං තීරු සපයා නොතිබීම වැනි කරුණු ඊට හේතුවී තිබේ.

නමුත් එම ගැටළු මග හරවාගැනීමට මෙම වාර්තාව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

  • බස් රථයක් මාර්ග වර්ණ සංඥා එළි පද්ධතියක් ආසන්නයට ළඟා වූ විටම එයට පිටත්වීම සඳහා කොළ එළිය පත්තුවීමට මාර්ග වර්ණ සංඥා එළි පද්ධති සැකසීම.
  • සැම මාර්ගයකම බස් රථ සඳහා වූ ප්‍රමුඛතා මං තීරු වැඩි වශයෙන් ස්ථාපනය කිරීම.
  • බස් රථ ගමන් අන්තර්ජාලය හරහා බස් මගීන් හට Uber වැනි සේවා හරහා කලින් වෙන් කරවා ගැනීමට සැලසීම.
-------------------------------------------------------------------------------------------------------

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපගේ

-------------------------------------------------------------------------------------------------------

Share
Published 18 August 2017 1:40am
By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends