ත්‍රස්ත වාහන ප්‍රහාර නැවත්වීමට ඔස්ට්‍රේලියාව ගන්න යන අලුත්ම තීරණය මෙන්න. (SBS සිංහල/වාර්තා)

මීට අමතරව රසායනික ප්‍රහාරයකදී මූලික වශයෙන් සිදු කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳවද මෙම නව සැලස්මේ අඩංගු වන අතර සෑම නව ගොඩනැගිල්ලකම ආරක්ෂකයින් සිටිය යුතු බවද සඳහන්.

PM unveils strategy to combat 'constantly evolving' terror threat

Source: AAP

පසුගිය බ්‍රහස්පතින්දා (17/08) ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිදුවූ ත්‍රස්ත වාහන ප්‍රහාරයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සඳහා අගමැති මැල්කම් ටර්න්බුල් විසින් නව ක්‍රමෝපායක් අද (20/08) නිවේදනය කරනු ලැබීය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ ඉදි කිරීමට අපේක්ෂිත නව ගොඩනැගිලි වල  සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ත්‍රස්ත වාහන වලින් ආරක්ෂා කිරීමට නව උපායමාර්ග ස්ථාපනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරයි.
ඒ අනුව මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ස්ථාන භාර නිලධාරීන් හට සහ ඔස්ට්‍රේලියාව තුළ ඉදිකිරීමට අපේක්ෂිත නව ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පීන් හට එලෙස ආරක්ෂාව තර කිරීමේ වගකීම භාර වෙනු ඇත.
සෑම ඔස්ට්‍රේලියානුවෙකුගේම ආරක්ෂාව තහවුරු කරන ජාතික ආරක්ෂක වැඩපිළිවෙලේ මෙම ක්‍රමෝපාය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තිබූ එකක් වන නමුත් බාසිලෝනා ප්‍රහාරය හේතුවෙන් එය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අගමැති ටර්න්බුල් පැවසීය.

ලොව හොඳම ආරක්ෂක නියෝජිත ආයතන ඇත්තේ ඔස්ට්‍රේලියාව සතුව බවද ඔහු පැවසීය.

“නමුත් ත්‍රස්ත තර්ජන දිනෙන් දින ව්‍යාපත් වෙමින් පවතින නිසා අපගේ ආරක්ෂක ක්‍රමද දිනෙන් දින යාවත්කාලීන සහ වැඩි දියුණු කළ යුතු වෙනවා.” යනුවෙන් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම නව සැලස්ම සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක්ම සහ ටෙරිටරියක්ම දායකත්වය ලබා දී ඇත.

මහජනයා වැඩි වශයෙන් එක් රැස්වෙන ස්ථාන වල හිමිකරුවන්ට සහ භාරකරුවන්ට එම ස්ථානවල ආරක්ෂාව විගණනය කිරීමට රජයේ සහ පොලීසියේ සහය හිමිවෙන අතර එහිදී අදාළ ස්ථානවල ආරක්ෂාවෙහි යම් දුර්වලතාවක් වුවහොත් ඒවා මගහරවා ගැනීමට ක්‍රමෝපායන් සහ සැලසුම් සකස් කර ස්ථාපනය කළ යුතු වේ.

සිඩ්නි නුවර Pitt වීදියේ ජනාකීර්ණ සාප්පු සංකීර්ණය මෙවැනි ස්ථානයකට කදිම නිදසුනක් වන අතර ස්ථිර බාධක යෙදීමෙන් වාහන සහ පදිකයින් මනාව වෙන් කරගත හැකි බව පැවසේ.

“මෙම තර්ජන අවම කිරීමට වඩාත් හැකිවන්නේ අදාළ ස්ථාන නිර්මාණය කරන අවස්ථාවේදීයි. ඔබට සෑම ස්ථානයකම 100% ක් ආරක්ෂාව තහවුරු කළ නොහැකියි. නමුත් දැනට පිහිටා ඇති ස්ථාන වල ඒ සඳහා ඵලදායී ලෙස විවධ බාධක ඉදි කළ හැකි අතර නව ස්ථාන ඉදිකිරීමේදී ඒවා සැලසුම් කරන විටම මේ සඳහා අවධානය යොමු කළ හැකි වෙනවා.” යනුවෙන් අගමැති ටර්න්බුල් පැවසුවේය.

මීට අමතරව රසායනික ප්‍රහාරයකදී මූලික වශයෙන් සිදු කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳවද මෙම නව සැලස්මේ අඩංගු වන අතර සෑම නව ගොඩනැගිල්ලකම ආරක්ෂකයින් සිටිය යුතු බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල නොවේවි යැයි තහවුරු ලෙස කිව නොහැකි නමුත් ඒ සඳහා පූර්ව සූදානමකින් සිටීම වඩාත් නුවණට හුරු බව කැබිනට් අමාත්‍ය Arthur Sinodinos පැවසුවේය.

මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආරක්ෂා කිරීම උදෙසා ජාතික සැලැස්මට අනුව...

  • මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් යනු මිනිසුන් විශාල ප්‍රමාණයකට පහසුවෙන් එක් රැස් විය හැකි ස්ථානයක් වීම.
  • ක්‍රීඩාංගන, පොදු ගමනා ගමන සේවා, සාප්පු සංකීර්ණ, සමාජ ශාලා සහ අවන්හල් ආගමික ස්ථාන, සිනමා ශාලා, උද්‍යාන වැනි ස්ථාන මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.
  • එම ස්ථානවලට පැමිණෙන සංචාරකයින්ගේ සහ සේවය කරන උදවියගේ ආරක්ෂාව කෙරෙහි අදාළ ස්ථාන වල හිමිකරුවන් සහ භාරකරුවන් වගකිව යුතු වේ.
  • ආරක්ෂාව සම්බන්ධ සැක කටයුතු යමක් සිදුවුවහොත් එය සැනින් දැනුම් දීම සහ විමසිල්ලෙන් සිටීමට සියලුම සේවකයින්ව දැනුවත් කර හා පුහුණු කර තිබීම,
  • මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන පිළිබඳ තොරතුරු ප්‍රචාරය සඳහා පොලීසිය විසින් සංසද පැවැත්වීම.
  • CCTV කැමරා, තාවකාලික සහ ස්ථිර බාධක යෙදීම, ආරක්ෂක නිලධාරීන් යෙදවීම, අනතුරු ඇඟවීමේ සංඥා ස්ථාපනය කිරීම වැනි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම.
  • යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පිළිබඳ සැණින් ආරක්ෂක අංශ දැනුවත් කිරීම.
  • සැක කටයුතු යමක් දුටු විට ඒ පිළිබඳ ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට දැනුම් දෙන අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ නම් 1800 333 000 හටද ජාතික මට්ටමින් නම් 1800 123 400 යන අංකයටද අමතන ලෙස දැනුම් දෙයි.
  • වැඩි විස්තර වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Share
Published 20 August 2017 11:11pm
Updated 20 August 2017 11:13pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends