ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ තීන්දුවට එරෙහි වසර ගණනක සටන ජයගෙන ස්ථිර පදිංචිය හිමිකරගත් ශ්‍රී ලංකික විදුලි කාර්මිකයා. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා තුන් වතාවක්ම අයදුම් කළ නමුත් ඒ සෑම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප වූ බැවින් පසුගිය මැයි මස 12 වන දින සිට පිටුවහල් කිරීමට ලද තීරණයත් සමග ඔහුට මෙරට සේවය කිරීමටද තහනම් විය.

Australian Visa

Source: SBS

ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ තීන්දුවක් ලැබ සිටි බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie ප්‍රදේශයේ වසර 6 කට ආසන්න කාලයක් සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකු එම සටනින් ජයගෙන ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සහ සේවය කිරීමේ අයිතිය හිමි කරගෙන තිබේ.

වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙකු වන 60 හැවිරිදි ඔහු නමින් එඩ්වින් අසාරියස් (Edwin Asariyas) ලෙස සඳහන්.

පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා යොමු කළ ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් ඔහුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට තීරණය විය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා තුන් වතාවක්ම අයදුම් කළ නමුත් ඒ සෑම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප වූ බැවින් පසුගිය මැයි මස 12 වන දින සිට පිටුවහල් කිරීමට ලද තීරණයත් සමග ඔහුට මෙරට සේවය කිරීමටද තහනම් විය.
ඒ අනුව ඔහුට ඊයේ (19/06) දිනයේ ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට සිදුව තිබූ අතර ඒ සඳහා සාක්ෂි ලෙස ඔහුගේ ගුවන් ටිකට් පත පසුගිය සිකුරාදා (16/06) පස්වරු 4 ට පෙර ආගමන කටයුතු පිළිබඳ බලධාරීන් වෙත සැපයීමට ද ඔහුට සිදු විය.
නමුත් ඊට ප්‍රථම, එනම්  සිකුරාදා පස්වරු 1 ට පමණ ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශ සීමා ආරක්ෂණ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Alex Hawke, එඩ්වින්ගේ පිටුවහල් කිරීමේ නියෝගය අත්හිටුවා ඔහුට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දුන් බව දැනුම් දී තිබේ.

2011 වසරේ 457 වීසා යටතේ නවසීලන්තයේ සිට බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණි එඩ්වින් සේවය කරනු ලබන්නේ Kalgoorlie හි Prestige Universal Mining Pumps සමාගම යටතේය.

එම සමාගමේ සේවායෝජකයින් වන Sam සහ Andy Grigg ඔහුට අනුග්‍රාහකත්වය සපයා තිබේ.

මෙම ලැබුණු තීන්දුව පිළිබඳ තමන් සතුටටත් උද්දාමයටත් පත්වූ බව එඩ්වින් පවසයි.

“මට හරිම සන්තෝෂයි. Andy සහ Sam ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මෙම ප්‍රශ්නයට සෘජුව මැදිහත් වුණා. ඔවුන් මෙහිදී විශාල කාර්ය භාරයක් කළා. ඔවුන් මට හාම්පුතෙකුට වඩා පවුලේ උදවිය වගේ. මට ඇත්තටම හරිම සන්තෝෂයි, මොකද තවත් අවුරුදු කීපයක් හරි මට ඔවුන්ට සේවය කරන්නට ලැබුණා.” එඩ්වින් තම අදහස් පළ කළේ ඒ අයුරිනි.

තම සමාගමේ එඩ්වින් ගේ පුරප්පාඩුව පිරවීම කළ නොහැක්කක් බව එහි අයිතිකරු Andy Grigg පවසයි.
“එඩ්වින් සිදු කරන Rewinder කාර්යය සඳහා පුද්ගලයින් සොයාගැනීම අපහසු කටයුත්තක්. අනික එඩ්වින් වගේ අයෙක්. ඔහු අපේ ව්‍යාපාරයත් එක්ක වසර 6 ක් හිටියා. ඔහු නැතිවීම අපේ ව්‍යාපාරයට විශාල පාඩුවක්. අනිත් එක ඔහු අපත් සමග වැඩ කිරීමට පටන් ගත් දවසේ සිට මේ දක්වා ලෙඩ නිවාඩු අරන් නැහැ. මේ වගේ පුද්ගලයින් පිටුවහල් කරන්න නෙමෙයි, අපි ඉහළට ගේන්නයි ඕනේ.” Andy Grigg පැවසීය.
බටහිර ඔස්ට්‍රේලියාවේ O’Connor හි මධ්‍යම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Rick Wilson සහ One Nation පක්ෂයේ සෙනට් සභාවේ මන්ත්‍රී Peter Georgiou එඩ්වින් ගේ මෙම ගැටලුව ආගමන හා දේශ සීමා ආරක්ෂණ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Alex Hawke සමග සාකච්ඡා කිරීමට රැස්වීමක් යොදා ගත්තෝය.

“මම ඔස්ට්‍රේලියනුවන් හට රැකියා ලබා දීමේ කටයුත්තට සහය දක්වන කෙනෙක් වුණාට මෙම ගැටලුවේදී එඩ්වින් හට තමන් සේවය කරන සමාගමට දිගමටම සේවය කිරීමට හා ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අනිවාර්යෙන් අවසර ලැබිය යුතු බව විශ්වාස කළා. එනිසාම රජය මෙම ගැටලුව කෙරෙහි සමීපව බැලිය යුතු බවට මා විශ්වාස කළා. මම එඩ්වින් ට හා ඔහුගේ හාම්පුතුන්ට කතා කළා. මට තේරුණා ඔහු ඔවුන්ගේ සමාගමට මෙන්ම එම ප්‍රජාවටද මිල කළ නොහැකි වස්තුවක් බව.” One Nation පක්ෂයේ සෙනට් සභාවේ මන්ත්‍රී Peter Georgiou තම අදහස් පැහැදිලි කළේය.

එඩ්වින් ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනකු තවමත් කොළඹ ජීවත් වන අතර වැඩි මහල් දියණිය පර්ත් හි  Edith Cowan විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලබයි.

ඇයට වසරකට වැයවන පාඨ මාලා ගාස්තුව වන ඩොලර් 26,000 ක මුදල ද ගෙවනු ලබන්නේ එඩ්වින් විසිනි.

ඔහුගේ ඇස්තමේන්තුවට අනුව ඔහු ශ්‍රී ලංකාවේ සේවය කළහොත් ඔහුගේ මාසික වැටුප ඩොලර් 2000 ක් පමණ වෙයි.

තමන්ගේ මෙම වීසා අර්බුදය සඳහා සටන් කිරීමට නීති ගාස්තු ලෙස ඩොලර් 20,000 ක් පමණ වියදම් වූ බවද එඩ්වින් පවසයි.

ශ්‍රී ලංකාවේ සිටින තමන්ගේ බිරිඳ ඇතුළු සෙසු දරුවන් දෙදෙනාද ඔස්ට්‍රේලියාවට කැඳවාගෙන ප්‍රීතිමත් පවුල් දිවියක් ගත කිරීමට එඩ්වින් අපේක්ෂාවෙන් සිටියි.

Share
Published 20 June 2017 6:26pm
By Madhura Seneviratne
Source: The West Australian

Share this with family and friends