ලොව අධිකතම ගුවන් ගමන් වියදම් සහිත රටවල් අතරින් ඔස්ට්‍රේලියාව 12 වන ස්ථානයට. (SBS සිංහල /වාර්තා)

දැරිය හැකි මට්ටමේ වියදමක් සහිත ගුවන් ගමන් සපයන්නේ කුමන රටවල් ද යන්න පිළිබඳ සංචාරකයින් හට අවබෝධයක් ලබා දීම වාර්ෂිකව මෙම දර්ශකය සකස් කිරීමේ අරමුණ බව www.kiwi.com සඳහන් කරයි.

Airlines

Source: www.australianaviation.com.au

ගුවන් ගමනක් සඳහා මිල අධිකම රටවල් අතරින් ඔස්ට්‍රේලියාව 12 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

අන්තර් ජාල සංචාරක ඒජන්සියක් වන www.kiwi.com වාර්ෂිකව සිදු කරනු ලබන ගුවන් ගමන් මිල දර්ශකයේ නවතම වාර්තාවට අනුව මෙම තොරතුරු අනවරණය වී ඇත.

අනෙක්පසින්, ගුවන් ගමනක් සඳහා වියදම් පාර්ශවයෙන් දැරිය හැකි රටවල් ලයිස්තුවේ ඔස්ට්‍රේලියාව 69 වන ස්ථානයට පත්ව තිබේ.

එනම් ගුවන් කිලෝ මීටර් 100 ක් යාමට ඔස්ට්‍රේලියානු ඩොලර් 39.45 ක් (ඇමෙරිකානු ඩොලර් 29.39) වැය වන බව ගණන් බලා තිබේ.

පසුගිය වසරේ ගුවන් ගමනක් සඳහා වියදම් පාර්ශවයෙන් දැරිය හැකි රටවල් ලයිස්තුවේ ඔස්ට්‍රේලියාව 64 වන ස්ථානයේ පසුවූ අතර මෙවර තවත් ස්ථාන 5 ක් පහළට ඇද වැටී තිබේ.

රටවල් 80 ක් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර හා දේශීය (domestic) ගුවන් ගමන් ආශ්‍රයෙන් මෙම ප්‍රථිපල www.kiwi.com ලබාගෙන ඇත.

දැරිය හැකි මට්ටමේ වියදමක් සහිත ගුවන් ගමන් සපයන්නේ කුමන රටවල් ද යන්න පිළිබඳ සංචාරකයින් හට අවබෝධයක් ලබා දීම වාර්ෂිකව මෙම දර්ශකය සකස් කිරීමේ අරමුණ බව www.kiwi.com සඳහන් කරයි.

මෙවර ලොව දැරිය හැකි ගුවන් ගමන් ගාස්තු ලැයිස්තුවේ කිරුළු පළඳින්නට මැලේසියාව සමත් වී තිබෙන අතර ගුවන් කිලෝ මීටර් 100 ක් යාමට එහි වියදම ඔස්ට්‍රේලියානු ඩොලර් 5.63 ක් (ඇමෙරිකානු ඩොලර් 4.18) බව ගණන් බලා තිබේ.

මැලේසියාවට පසුව එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කරගෙන ඇත්තේ පිළිවෙලින් බල්ගේරියාව සහ ඉන්දියාවය.

තුර්කිය, රොමේනියාව, ඉන්දුනීසියාව, පෘතුගාලය, තායිලන්තය, ස්වීඩනය සහ ස්පාඤ්ඤය යන රටවල් ඉන් අනතුරුව ලැයිස්තුවේ ප්‍රථම රටවල් 10 ට ඇතුළත් වේ.

ගුවන් ගමන් සඳහා ලෝකයේ මිල අධිකම රටවල් මොනවාද?

ලොව අධිකතම ගුවන් ගමන් වියදම් සහිත රට ලෙස මෙවර හඳුනාගෙන ඇත්තේ බෙල්ජියමයි.

බෙල්ජියමට අනුව ගුවන් කිලෝ මීටර් 100 ක් යාමට වය වන වියදම ඔස්ට්‍රේලියානු ඩොලර් 73.55 ක් (ඇමෙරිකානු ඩොලර් 54.63) බවද වාර්තා වේ.

ඉන් අනතුරුව නෙදර්ලන්තය, කටාර්, චිලී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සොලොමන්ස් දූපත්, සර්බියාව, ඔස්ට්‍රියාව, ලෙබනනය සහ ඕමානය යන රටවල් ලොව අධිකතම ගුවන් ගමන් වියදම් සහිත රටවල ලැයිස්තුවේ ප්‍රථම රටවල් 10 අතරට තේරී තිබේ.

ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් මෙතරම් මිල අධික ඇයි ?

ඔස්ට්‍රේලියාවේ ශ්‍රමික වැටුප් ඉහළ තලයක පිහිටා තිබීම මීට ප්‍රධානතම හේතුව ලෙස වාර්තා වෙයි.

ලොව දැරිය හැකි මට්ටමේ ගුවන් ගමන් සහිත රටවල් ලැයිස්තුවේ ප්‍රථම රටවල් 10 දෙස බලන කල ඒවායේ ශ්‍රමික වැටුප් සැලකිය යුතු ලෙස පහළ මට්ටමක තිබීම එසේ වියදම් අඩු වීමට හේතු වන බවද සඳහන්.



Share
Published 2 June 2017 11:39am
Updated 2 June 2017 11:46am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends