ජීවත්වීමට වඩාත් සුදුසු රටවල් අතරින් ඔස්ට්‍රේලියාව පල්ලම් බසී. (SBS සිංහල /වාර්තා)

2016 වසරේදී මෙම දර්ශකයේ 7 වන ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටි අතර 2017 වසරේදී එය 34 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙන බව වාරතා වේ.

Australia’s ranking plummets in expat survey of the best countries to live and work in

Source: AAP

මෙලොව වාසය කිරීමට සහ රැකියාව කිරීමට වඩාත් සුදුසු රටක් ලෙස ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ නාමයක් දිනා සිටියි.

2011 වසරේ සිට ලොව ජීවත්වීමට සුදුසුම නගරය ලෙස නොකඩවා 7 වරක් කිරුළු පළන් මෙල්බන් නුවර පිහිටියේද ඕස්ට්‍රේලියාවේය.

කෙසේනමුත් තමන් උපන් රටින් පිටත වාසය කරන  හෙවත්  ප්‍රවාසිකයින් ට ජීවත්වීමට වඩාත් සුදුසු රටවල් 10 අතරට මෙවර ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වී ඇති බව The Expat Insider survey වාර්තා කරයි.
2016 වසරේදී මෙම දර්ශකයේ 7 වන ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටි අතර 2017 වසරේදී එය 34 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙන බව වාරතා වේ.
එම දර්ශකයේ කිසිදු රටක් මෙලෙස දැඩි පසුබෑමකට ලක්ව නොමැති බවද සඳහන්.

ජාතීන් 166 කට අයත් ප්‍රවාසිකයින් 13,000 ක් පමණ යොදාගනිමින් සිදු කළ මෙම සමීක්ෂණයේදී ඉලක්ක කර ඇත්තේ විවිධ රටවල ජීවන අපේක්ෂාවන්, සේවය කරන පැය ගණන, සේවා සහ පුද්ගලික ජීවිතයේ සමතුලිතතාව වැනි කරුණුය.

ජර්මනියේ Munich නුවර සිට වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම  Expat Insider  සමීක්ෂණය ලොව පුරා විසිරී සිටින මිලියන 2.8 ක ප්‍රවාසික ජනතාවක් සම්බන්ධ කරගනිමින් පැවැත්වේ.

මෙම සමීක්ෂණය හරහා තම රටින් පිටව වාසය කරන විවිධ විධායකවරුන්ගේ, නිපුනතා සේවකයින්ගේ, ශිෂ්‍යන්ගේ සහ විශ්‍රාමිකයින්ගේ අදහස් ලබාගැනෙයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනික තත්ත්වය පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර ද මෙවර පහළ බස ඇති බව සඳහන්.
2016 වසරේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනික තත්ත්වය පිළිබඳ 84% ක ධනාත්මක ප්‍රතිචාර ලැබුණු නමුත් 2017 වසරේදී එය 70% දක්වා අඩුවී ඇත.

මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය සහ  එක්සත් රාජධානිය ද විදේශිකයින්ට එතරම් මිතුරු නොමැති බව මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

පසුගිය වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණය මෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් Brexit  ඡන්දය හේතුවෙන් මෙසේ විදේශිකයින්ගේ කැමැත්ත එම රටවල් ද්විත්වයට අඩුවී ඇති බව පැවසේ.

ඊට අමතරව ළමා සුරැකුම්, සෞඛ්‍ය පහසුකම් සහ නිවාස වෙළඳපොල හේතුවෙන්ද මෙම ප්‍රතිඵලය ලැබී ඇති බව වාර්තා වේ.
මෙවර මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ බහරේන් රාජ්‍යය විසිනි.
සේවය කිරීමට ඉතා සුදුසු තත්වයක් තිබීම මෙන්ම පවුලක වර්ධනය සඳහා අවශ්‍ය බොහෝ සාධක පැවතීම හේතුවෙන් බහරේන් රාජ්‍යය මෙවර දර්ශකයේ පෙරමුණ ගෙන තිබේ.

නමුත් එම කලාපයට  අයත් Kuwait, Saudi Arabia සහ Qatar රාජ්‍යයන් දර්ශකයේ අවසාන 10 අතරට ඇද වැටී ඇති බවද වාර්තා වේ.

මෙවර Expat Insider දර්ශකයේ ඉහලින්ම ඇති රටවල් 10 පහත පරිදි වේ.

  1. බහරේනය.
  2. කොස්ටාරිකාව.
  3. මෙක්සිකෝව.
  4. තායිවානය.
  5. පෘතුගාලය.
  6. නවසීලන්තය.
  7. මෝල්ටාව.
  8. කොලොම්බියාව.
  9. සිංගප්පූරුව.
  10. ස්පාඤඤය

Share
Published 8 September 2017 11:32am
By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends