ඕස්ට්‍රේලියානු තරුණ ඌන සේවා නියුක්ති ප්‍රතිශතය වාර්තාගත ලෙස ඉහලට

Youth Employment

Source: Getty Images

වසර 40කින් වාර්තාවන ඉහලම තරුණ ඌන සේවා නියුක්ති  ප්‍රතිශතය මේ වන විට ඕස්ට්‍රේලියාව  තුල දක්නට ඇති බව Brotherhood of St Laurence නම් සංවිධානය නිකුත් කල වාර්තාවක් පෙන්වා දී තිබේ.

 

පසුගිය පෙබරවාරි මාසයේ තරුණ ශ්‍රම බලකාය තුල 18%ක  ඌන සේවා නියුක්තියක් (underemployment) දක්නට ලැබුණු බවද 13.5%ක් විරැකියා ( unemployment) ප්‍රතිශතයක් දක්නට ලැබුණු බවද එම සංවිධානය පවසයි. Brotherhood of St Laurence සංවිධානය නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව 659,000 කට ආසන්න  තරුණ පිරිසක්  ඌන සේවා නියුක්තියක් හෝ රැකියා විරහිත අය  වන බව සදහන්. තවද 282,000 තරුණ පිරිසක් රැකියා විරහිත බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

 

80 සහ 90 දශක වල විරැකියාව තරුණ ශ්‍රම බලකාය තුල වැඩි වශයෙන් දක්නට ලැබුණු අතර 2003 වසරෙන් පසුව ඌන සේවා නියුක්තිය තරුණ ශ්‍රම බලකාය තුල බහුල වශයෙන් දක්නට ලැබෙන බව මෙම වාර්තාව පෙන්වා දෙන වැදගත් කරුණක්.

 

තරුණ ශ්‍රම බලකාය තුල ඌන සේවා නියුක්තිය ප්‍රධාන කාරණයක් බවට පත්වන අතර තුර වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ පිරිස්, ජාත්‍යන්තර මුල්‍ය  අර්බුධය හටගත් ද සිට වැඩි වශයෙන් විරැකියාවෙන් පෙලෙන බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

 

ජාත්‍යන්තර මුල්‍ය  අර්බුධයට මාස කීපයකට පෙර තරුණ ඌන සේවා නියුක්ති සහ  විරැකියා ප්‍රතිශතය 10%ට සහ 11%ට අඩු ප්‍රතිශතයක පවතී බව සදහන්. තවද පසුගිය වසර 15 තුල ඌන සේවා නියුක්තික තරුණ පිරිස්  රැකියාවක නිරත වන කාලය සහ, ඔවුන් රැකියාවක නිරතවීමට කැමැත්තෙන් සිටින කාලය අතර පරතරය වැඩි වී ඇති බව සදහන්. ඒ අනුව ඔවුන් රැකියාවක නිරත වීමට කැමති වුවත්, ඔවුන්ට රැකියා ස්ථානයෙන් ලබාදෙන පැය ගණන අඩුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව මෙම වාර්තාව පේනවා දී තිබේ.

 

රැකියාවල නිරත වීමේදී තම දෙමාපියන් හෝ වැඩිහිටියන් මුහුණ දුන්නාට  වඩා  අභියෝගාත්මක වටපිටාවකට  වත්මන් තරුණ පරපුර මුහුණ දෙමින් සිටින බව  Brotherhood of St Laurence ආයතනයේ මෙම වාර්තාව සදහන් කරන අතර, තරුණ ශ්‍රම බලකායේ වටිනා ශ්‍රමය මේ හේතුවෙන් රටට අහිමි වීම කනගාටුදායක තත්වයක් බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.


Share
Published 3 April 2017 10:54pm
By Sanjaya Dissanayake


Share this with family and friends