ඕස්ට්‍රේලියානු රජය 457 වීසා කාණ්ඩය අවලංගු කලේ ඇයි ?

457 visa changes

Source: www.yimin-visa.com

විදේශීය ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාව  තුල රැකියා අවස්ථා උදා  කරදුන් 457 කුසලතා වීසා  කාණ්ඩය අවලංගු කරන බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පසුගියදා නිවේදනය කල අතර, දශක දෙකකට ආසන්න  කාලයක් ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී වීසා  කාණ්ඩය ඕස්ට්‍රේලියාවට  වැදගත් වන්නේ ඇයි  දැයි විමසා බැලීම වැදගත් කරුණක්.


1996 Howard රජය මගින් 457 වීසා  කාණ්ඩය හදුන්වා  දුන් අතර, එමගින් වසර 4ක  කාලයක් සදහා ඕස්ට්‍රේලියාව  තුල කේෂ්ත්‍ර ගණනාවක රැකියා වල නිරත වීම සදහා විදේශීය ශ්‍රමිකයින්ට අවස්ථාව ලැබිණි. මෙම වීසා  කාණ්ඩය යටතේ රැකියා කේෂ්ත්‍ර  650 කට අධික සංඛ්‍යාවක්  සදහා ශ්‍රමිකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබුණු අතර, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ද ඕස්ට්‍රේලියාවට  රැගෙන ඒමේ අවස්ථාව ඔවුන්ට හිමි විය.

රජය මගින් හදුන්වා දී ඇති සංශෝධන....


රජය 457 වීසා  කාණ්ඩය අවලංගු කිරීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට නව වීසා  කාණ්ඩ  දෙකක් හදුන්වා  දීමට නියමිත බව සදහන්. වසර දෙකක වීසා  කණ්ඩයක් සහ ඉතා ඉහල කුසලතා (specific high-level skills) අවශ්‍ය රැකියා සදහා වසර 4ක වීසා  කණ්ඩයක් මෙහිදී රජය හදුන්වා  දීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.

මෙම නව වීසා  කාණ්ඩ  දෙක යටතේ ඕස්ට්‍රේලියාවේ රැකියාවක් නිරත වීමට, අදාල වෘත්තීය තුල  වසර දෙකක කාලයක් අත්දැකීම් අවශ්‍ය වන අතර, වසර 4 වීසා  කාණ්ඩය සදහා ඉතා ඉහල ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වන බවද සදහන්.   අදාල වෘත්තීය තුල  වසර දෙකක කාලයක් අත්දැකීම් අවශ්‍ය වීම යන කාරණය  මීට  පෙර 457 වීසා  කාණ්ඩයට අදාල නොවීය.

නව වීසා  කාණ්ඩ  සදහා, අදාල අයදුම් කරුවන් අපරාධ වලට සම්බන්ධ නොවී ඇති බව සහතික කිරීමට (criminal history check) විශේෂ ක්‍රමවේදයක්ද අනුගමනය කල යුතු බව සදහන්. තවද 457 වීසා  කාණ්ඩය යටතේ වසර දෙකකට පසුව ස්ථිර පදිංචිය සදහා අයදුම් කිරීමට අවස්ථාව උදා  වූ අතර, මෙම වසර දෙකේ වීසා  කාණ්ඩය යටතේ එවැනි අවස්ථාවක් උදා  නොවනු ඇත. නමුත් වසර 4 නව වීසා  කාණ්ඩය යටතේ වසර තුනකට පසුව ස්ථිර පදිංචිය සදහා අයදුම් කිරීමේ අවස්ථාව උදා  වන බව වැඩි දුරටත් වාර්තා වෙයි.

තවද නව තාවකාලික වීසා  සදහා අයදුම් කල හැකි වයස් සීමාවද අවුරුදු 50 - 45 ත් අතර ලෙසද රජය සංශෝධනය කර තිබේ.

බලපාන්නේ කාටද?


නව කුසලතා වීසා  වැඩසටහන යටතේ රැකියා 200ක් පමණ කපා  දැමීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි. මීට  පෙර වැඩසටහන යටතේ රැකියා 650කට අධික සංඛ්‍යාවක් සදහා විදේශීය ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා හිමි වූ අතර, call centre managers, shearers සහ නළු නිලියන් සදහා නව වීසා  කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව  තුල රැකියාවල නිරත වීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.

තවද දැනට 457 වීසා  කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව  තුල රැකියාවල නිරත ශ්‍රමිකයින්ට මෙම වෙනස්කම් අදාල නොවන බව රජය පවසයි.

මෙම වීසා  කාණ්ඩය අවලංගු කිරීමෙන් එය ඕස්ට්‍රේලියානු සමාගම් වලටද බලපෑමක් එල්ල කරන අතර එය අවම කිරීම සදහා, දේශීය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩසටහන් දිරිමත් කිරීම රජයේ සැලසුම වී තිබේ. තවද කුසලතා සංක්‍රමණිකයින් සේවයට බදවා ගැනීමේදී අමතර ගාස්තුවක් සමාගම් මගින් අය  කිරීමේ රජයේ සැලසුමක් පිළිබදවද තොරතුරු වාර්තා වෙයි.

වසර දෙකේ නව වීසා  කාණ්ඩය සදහා AUD 1,150 ක ගාස්තුවක්ද වසර හතරේ වීසා  කාණ්ඩය සදහා ඩොලර් AUD 2,400ක  ගාස්තුවක්ද අය  කිරීමට නියමිත බව සදහන්.

457 වීසා  වැඩසටහන අවලංගු කිරීමෙන් කුසලතා වීසා  ලැයිස්තුවෙන් ඉවත් වූ රැකියා

457 abolished job list
Source: immigartion
457 abolished job list
Source: immigration
457 abolished job list
Source: immigration
457 abolished job list
Source: immigration
457 abolished job list
Source: immigration

මෙම සංශෝධන හදුන්වාදීමට හේතු......

457 වීසා  කාණ්ඩය විමර්ශනයට ලක් කරමින් ඒ සදහා සංශෝධන ඉදිරිපත් කරන ලෙස රජයට විපක්ෂයෙන්ද දැඩි පීඩනයක් එල්ල වී තිබු අතර, රජයේ සාමාජිකයන් ඇතුළු  විවිධ පාර්ශව වලින් එල්ල වූ පීඩනයන්ගේ ප්‍රථිපලයක්  ලෙස මෙම සංශෝධනය අගමැති මැල්කම් ටර්න්බුල් විසින් ප්‍රකාශයට පත් කල බව දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.
නමුත් අගමැති ටර්න්බුල් පවසනේ මෙය එම පීඩනයන්ගේ ප්‍රථිපලයක්  නොවන බවත්, එය රජයේ ප්‍රතිපත්ති මත ගත්  තීරණයක් බවත්ය.


Share
Published 20 April 2017 7:57am
Updated 20 April 2017 1:00pm
By Sanjaya Dissanayake


Share this with family and friends