මෙල්බන් නුවර හතර කොනම යා කරන North East Link පිළිබඳ අලුත්ම සංඥාවක්. (SBS සිංහල/වාර්තා)

මෙම මාර්ගයෙන් සංවර්ධනය වෙමින් පවතින මෙල්බන් උතුරු කලාපය, මෙල්බන් නගරයත්, බටහිර මෙල්බන් කලාපයත්, ගිනිකොණ සහ නැගෙනහිර මෙල්බන් කලාපත් එකට සම්බන්ධ කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

Proposed North East Link

提议的东北高速连线 Source: Victorian Governmet

මෙල්බන් නුවර "missing link" (North East Link) හෙවත් Ring Road මාර්ගයේ වැඩ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඩොලර් බිලියන 10ක් දක්වා වැය කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

එමගින් රැකියා අවස්ථා 5000ක් පමණ උත්පාදනය වන බවද ප්‍රාන්ත රජය පෙන්වා දෙයි.

නමුත් මෙම ව්‍යාපෘතියට අදාළ කිසිදු කොන්ත්‍රාත්තුවක්  මීළඟ ප්‍රාන්ත මැතිවරණයට පෙර අත්සන් නොකරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

තම රජය 2018 වසරේදී නැවත බලයට පත්වුවහොත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ යෝජිත North East Link මාර්ගය, Metropolitan Ring Road සහ Eastern Freeway මාර්ගය මෙන්ම Greensborough සහ Ringwood  අතර පිටත ඇති නගරද යා කරනු ඇත.

මෙම සැලසුම් අනුමැතිය සහ ටෙන්ඩර් පටිපාටිය සමග 2018 වසරේදී ඩොලර් මිලියන 35ක පමණ ව්‍යාපාරික අවස්ථා උදා වනු ඇති බවද ප්‍රාන්ත රජය නිවේදනය කර තිබේ.

2014 වසරේදී ලිබරල් සන්ධාන රජය විසින් East West Link මාර්ගය ඉදිකිරීමට කොන්ත්‍රාත්තු අත්සන් කළ නමුත් එය මහජනයාගේ බදු මුදල් ඩොලර් බිලියන 1.1ක් වියදම් වන එකක් බවට හෙළිවිය. ඊට අමතරව එම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වසර 10ක කාලයක් ගත වන බවද ඇස්තමේන්තු කර තිබු අතර ඒ සඳහා ප්‍රතිපාදන සැපයීමට අපේක්ෂා කළේ රජය සහ ටොල් ගාස්තු එකතුවෙනි.

Ring road ව්‍යාපෘතියට බාලගිරි දෝෂය

මෙම මාර්ගය නිම කිරීමට දශක කිහිපයක පටන් උත්සාහ ගත නමුත් එය අසමත් වී ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මෙම මාර්ගයෙන් සංවර්ධනය වෙමින් පවතින මෙල්බන් උතුරු කලාපය, මෙල්බන් නගරයත්, බටහිර මෙල්බන් කලාපයත්, ගිනිකොණ සහ නැගෙනහිර මෙල්බන් කලාපත් එකට සම්බන්ධ කරන බවද ඔහු පැවසීය.

තවත් විදියකින් කිවහොත් මෙල්බන් නුවර, මාලිමාවේ සෑම කොනකින්ම මෙමගින් සම්බන්ධ වේ.

මේ යටතේ ඔබට Dandenong සිට මෙල්බන් ගුවන් තොටුපොළ වෙත එක් වර්ණ සංඥාවක් යටතේ ගමන් කිරීමට අවස්ථාව උදා වනු ඇති බවද ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කළේය.

මෙය අති විශාල ව්‍යාපෘතියක් මෙන්ම බොහෝ කලක පටන් නිම නොකෙරුණ ව්‍යාපෘතියක් බවද ඔහු ප්‍රකාශ කළේය. මීට අමතරව මෙම ව්‍යාපෘතිය ලිබරල් සන්ධාන ව්‍යාපෘතිය මෙන් අසම්පූර්ණ එකක් නොවන බවටද ඔහු පැවසුවේය.

ව්‍යාපෘතියේ ඇතැම් ස්ථාන අපැහැදිලි බව විපක්ෂය කියයි.

මෙම ව්‍යාපෘතියට අදාළ ඇතැම් ස්ථාන වල තොරතුරු අපැහැදිලි බව ප්‍රාන්ත විපක්ෂයේ මාර්ග පිළිබඳ නියෝජිත Ryan Smith පවසයි.

“මෙය ප්‍රතිපාදන නොමැති ව්‍යාපෘතියක්. සැලසුම් කිරීම සඳහා සීමිත මුදලක් ඇත්තේ. දිග් ගැස්සුණු කාල රාමුවක් ඇති අතර ඉදිකිරීම් සඳහා මුදල් නොමැති බවට පෙනී යනවා.” Ryan Smith පැවසීය.

මීළඟ මැතිවරණයට පෙර කිසිදු කොන්ත්‍රාත්තුවක් අත්සන් නොකරන බවට ප්‍රාන්ත අගමැතිවරයා පැවසීමම ප්‍රශ්න සහගත බවද ඔහු පෙන්වා දුන්නේය. 


Share
Published 11 December 2016 10:56pm
Updated 11 December 2016 10:59pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends