චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 1දා සිට එංගලන්තයේදී

Sri Lanka relishing underdog status at Champions Trophy - Mathews

(Reuters) Source: Reuters

ICC චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලිය එළ ෙඹන ජුනි 1දා සිට එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් 8ක් සහභාගී වන මෙම තරගාවලිය, ආරම්භ වන්නේ  ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී පවැත්වෙන එංගලන්තය සහ බංග්ලාදේශය  අතර තරගයෙන්.

 තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි සහ අවසන් පුහුණු තරගය අද (30දා)  නවසීලන්තය සමගින් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ  ස්‌කොට්‌ලන්තය සමග පැවැති පළමු පුහුණු තරගයෙන් නොසිතූ පරාජයකට ඇද වැටුණු ශ්‍රී ලංකාව ඔවුන් සමග පැවැති දෙවැනි පුහුණු තරගයේදී යළිත් හිස ඔසමින් කඩුලු 9 ක ජයක්‌ වාර්තා කිරීමට සමත් විය.   ඉකුත් 28 වැනිදා ඕස්ට්‍රේලියාව  සමග පැවැති පුහුණු තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 318 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගත්තද ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නන්ට එය වලකා ගැනීමට නොහැකි වීමෙන් කඩුලු දෙකක පරාජයක්‌ ශ්‍රී ලංකාවට අත්විඳීමට සිදුවිය.

පසුගිය වකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන්, කණ්ඩායමේ දක්ෂතා නැංවීමට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට පිටත්ව යෑමට පෙර විශේෂ පුහුණු කදවුරකටද සහභාගී වූ අතර, පන්දු යැවීමේ දක්ෂතා ඉහල නැංවීමට විදේශීය පුහුණු උපදේශකයෙකු ලෙස ඇලන් ඩොනල්ඩ්ගේ සහාය  ලබාගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

මෙවර ICC චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය එළ ෙඹන ජුනි 3දා දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ජුනි 8වැනිදා ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි. තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ජුනි 12දා පාකිස්ථානය  සමගින් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මුහුණ දෙන පළමු තරග දෙකම අභියෝගාත්මක තරග දෙකක් වන්නේ මෑතකදී දකුණු අප්‍රිකාවට සහ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව දක්වා ඇති දුර්වල දක්ෂතා හේතුවෙන්. මේ වසර ආරම්භයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක් දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව 5-0ක් ලෙස පරාජයට පත් වූ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් වතාවට පැවති තරග 15න්  12 ක් ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබේ.


ලසිත් මාලිංග ගේ සාර්ථකත්වය සහ දායකත්වය මෙම තරගවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට වැදගත් සාධකයක් වනු ඇති අතර, ඔහු එක් දින ජාත්‍යන්තර තරග පිටියට පිවිසෙන්නේ 2015 වසරෙන් පසු වීමද විශේෂ කරුණක්. මාලිංග ගේ  අත්දැකීම්  සහ පන්දු යැවීමේ කුසලතාවය තරගයක ජයග්‍රහණය සදහා කොයිතරම් දායකත්වයක් ලබාදෙනවාද යන්න ඔහු පසුගියදා IPL තරගාවලියේදී පෙන්නුම් කල අතර, ඒ නිසා ඔහුගේ දායකත්වය මෙම තරවලිය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ප්‍රබල සාධකයක් වනු ඇති බව නොඅනුමානයි. නමුත් එක් දින   තරග රටාවේදී පන්දු වාර 10 ම තම උපරිමයෙන් යැවීමට මාලිංග ගේ අබාධ තත්වය සමගින් ඔහුට හැකිවේද යන සැකය තවමත් පවතී.

වමතින් දග පන්දු යවන ලක්ෂාන් සදකැන් කෙරෙහි මෙම තරගාවලියේදී විචාරක අවධානය යොමුව ඇති අතර, ඔහු ටෙස්ට් පිටියේදී දැක්වූ දස්කම් එක්දින තරග පිටියේදීත් ඔහුට  දක්වන්නට හැකි වනු ඇතැයි බොහෝදෙනෙකුගේ විෂ්වාශය වී තිබේ. මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර මට්ටමේ තරගාවලිය වන අතර, පසුගියදා ස්කොට්ලන්තය සමග පැවති දෙවැනි පුහුණු තරගයේදී කඩුලු  4ක් දවගන්නට ඔහු සමත් විය.

මෙම තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් , උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් වැනි අත්දැකීම් ඇති ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටීම සුභදායි කරුණක් වන අතර, කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ  ඇන්ජලෝ මැතිව්ස් විසිනි.

ICC චැම්පියන්ස්‌ කුසලාන තරගාවලි ඉතිහාසය තුල ශ්‍රී ලංකා කණ්ඩායම් දක්ෂතා


1998 - අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය
2000 - පළමු වටයෙන් ඉවත් විය
2002 - සම ශුරතාවය හිමි කරගන්නට සමත් විය
2006 - පළමු වටයෙන් ඉවත් විය
2009 - පළමු වටයෙන් ඉවත් විය
2013 - අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය


Share
Published 30 May 2017 7:37am
Updated 30 May 2017 7:57am
By Sanjaya Dissanayake
Source: espncricinfo


Share this with family and friends