කැන්ගරුවන් පරදා Geelong, Kardinia Park ක්‍රීඩාංගනයේත් ශ්‍රී ලංකාව, සිංහ ධජය ඔසවයි.

අසේල ගුණරත්නගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාව දෙවන 20-20 තරගයත් ජයගනී.

Australia v Sri Lanka - 2nd T20

during the second International Twenty20 match between Australia and Sri Lanka at Simonds Stadium on February 19, 2017 in Geelong, Australia. Source: Getty Images AsiaPac

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර Geelong, Kardinia Park ක්‍රීඩාංගනයේදී අද (19/02) පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 2 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග, ඔස්ට්‍රේලියාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 173 ක් ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් Constantino Henriques නොදැවී ලකුණු 56 ක් ද  Michael Klinger ලකුණු 43 ක් ද Ben Robert Dunk ලකුණු 32 ක්ද ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නුවන් කුලසේකර කඩුලු 4 ක්ද විකුම් සංජය සහ ලසිත් මාලිංග කඩුලු 2ක බැගින්ද, අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්න එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 176 ක් ලබාගනිමින් තරගයේ ජය සටහන් කළේය.

ශ්‍රී ලංකා පිළේ ආරම්භක කඩුලු 5 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නමුත් මැද පෙළේ අසේල ගුණරත්න පන්දු 46 කදී ලකුණු 84 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට ලකුණු  14 ක් ලබා ගත යුතුව තිබුණු අතර අවසන් පන්දුවට ලකුණු 2 ක් ලබා ගැනීමට සිදු විය.

අසේල ගුණරත්න අවසන් පන්දුවේදී ලකුණු 4 ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්න හට හිමි විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ 2-0 ක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියි.


Share
Published 19 February 2017 11:24pm
Updated 20 February 2017 8:19am
By Madhura Seneviratne
Source: espncricinfo


Share this with family and friends