ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් දරුවන්ගේ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා ලබන වසරේ සිට නව App එකක්. (SBS සිංහල /වාර්තා)

දරුවන් මෙම app එක සමග ගනුදෙනු කිරීමේදී දිගු වේලාවක් ටැබ්ලට් පරිගණකයේ තිරය මත බලා හිඳීමෙන් කිසිදු හානියක් නොවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

Preschool app-based language learning to rollout across Australia

Source: AAP

ඉංග්‍රීසි භාෂාවට අමතරව තවත් භාෂාවක් ඉගෙනගැනීමට ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් දරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව උදාවන බව වාර්තා වේ.

2016 වසරේදී Early Learning Languages Australia (ELLA) වැඩසටහන අත්හදා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එම අත්හදා බැලීමේ වැඩසටහනට ඔස්ට්‍රේලියාව පුරා පෙර පාසල් ළමුන් 10,000ක් පමණ සහභාගී වූ අතර ඒ සඳහා ඩොලර් මිලියන 9.8ක් පමණ වැයවූ බව වාර්තා වේ. එම ළමුන්ගෙන් තුනෙන් දෙකක් පමණ ළමුන් චීන භාෂාව සහ ජපන් භාෂාව ඉගෙන ගනිමින් සිටි බවද සඳහන්.

මෙම වැඩසටහන කුඩා දරුවන්ගේ භාෂාමය හැකියාවන්ට උපකාරී අයුරු සාක්ෂි සහිතව පෙනීගොස් තිබෙන බව ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන හා පුහුණු අමාත්‍ය Simon Birmingham පැවසීය.

ඒ අනුව ඒ සඳහා අදාළ මෙවලම නිවසේදී පවා භාවිත කිරීමට ඉඩ සලසනවානම් දරුවන් ඉක්මණින් එම හැකියාවන් වර්ධනය කරගනු ඇතැයි ද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සෑම පෙර පාසලකටම භාවිත කිරීමට අවස්ථාව සැලසෙන පරිදි මෙම නවතම app එක ඩිජිටල් වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර ඒ සඳහා අතිරේක ඩොලර් මිලියන 5.9ක් වැය කිරීමට අපේක්ෂා කරයි.

මෙම app එක ක්‍රියාත්මක කිරීම සඳහා iPad වැනි ටැබ්ලට් ගනයේ මෙවලමක් අවශ්‍ය වන අතර දුෂ්කර ප්‍රදේශ වල දරුවන් 1000ක් සඳහා එම මෙවලම් මිලදී ගැනීමට ඩොලර් 500ක ආධාර මුදලක් ලබා දෙන බවද පැවසේ.

දරුවන් මෙම app එක සමග ගනුදෙනු කිරීමේදී දිගු වේලාවක් ටැබ්ලට් පරිගණකයේ තිරය මත බලා හිඳීමෙන් කිසිදු හානියක් නොවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. එම හානිය වළක්වාලන තාක්ෂණයක් යොදාගනිමින් මෙය නිර්මාණය කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව විදේශ භාෂා දැනුම වර්ධනය කර ගැනීමට සහ අවබෝධ කර ගැනීම සඳහා ඒකාග්‍රතාවක් විනයානුකූලව ලබා දෙන බවද ඔහු පැවසීය.

දරුවන් මෙම app එක අඩංගු ටැබ්ලට් ගනයේ පරිගණක දවසේ විශේෂ වේලාවකදී පමණක් භාවිත කරන බවත්  එක දරුවෙක් එය භාවිත කර අනෙක් දරුවාට එය භාර දීමේදී මනා ස්වයං පාලනයක් යටතේ එය සිදු කරන බවත් දැනගැනීමට ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩසටහන හේතුවෙන් සාමාජීය ප්‍රතිලාභද අත් වන බව Waite Campus Children's Centre හි අධ්‍යක්ෂ Kaarin Wilkinson පැවසීය.

මෙමගින් සාමුහික ඉගෙනීම වර්ධනය වෙනවා. මොකද දරුවන් අනෙක් දරුවන් දිහා බලනවා, ඔවුන් එකිනෙකා සමග කතා කරනවා. ඒ අනුව ඔවුන් දේවල් හුවමාරු කරගන්නවා.” ඇය වැඩි දුර පැහැදිලි කළාය.

මෙම ELLA වැඩසටහන සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් වලට 2017 වසරේ පෙබරවාරි 26 දක්වා කාලය ඇති බවද වාර්තා වේ.


Share
Published 14 November 2016 9:52pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends