මානුෂීය සරණාගතයන් ට වඩා නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් වද වෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා)

ඔබ මානුෂීය හේතු මත විදේශයන් විසින් නම් කරන ලද සරණාගතයන් බාරගැනීම සඳහා වන වැඩසටහන සඳහා සහය දක්වන්නේද යන්න ඇසු විට 80% ක ප්‍රතිශතයක් ඒ සඳහා එකඟත්වය පළ කළ නමුත් නීති විරෝධී යාත්‍රා මගින් පැමිණෙන සංක්‍රමණිකයන් සඳහා එම කැමැත්ත 32% දක්වා පහළ ගොස් තිබෙන බව පෙනී ගොස් තිබේ.

Migrants not a worry - unless they come by boat: Scanlon report

Source: DIBP

පසුගිය දශකය සමග සැසඳීමේදී මෙරටට සිදුවන ආගමන පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් දැන් මදක් සැලකිලිමත් වන බව ජනගහනය පිළිබඳ සිදු කළ ප්‍රධාන පෙළේ නවතම Scanlon සමීක්ෂණය  පෙන්වා දෙයි.

සංක්‍රමණිකයන් හා ඔවුන්ගෙන් ඔස්ට්‍රේලියානු සමාජයට සිදු වන බලපෑම් පිලිබඳ අවධානය යොමුවීම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බව එම සමීක්ෂණයේ ප්‍රතිපල ඔස්සේ අනාවරණය වී තිබේ. 

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් බාරගන්නා ප්‍රමාණය “බොහෝ වැඩි” බව මෙම සමීක්ෂණයට සහභාගී වූ 34% ක ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇත.

ක්‍රියාත්මක වන බොහෝ සමීක්ෂණ, සිරියානු සරණාගතයන් ඇතුළුව ඔස්ට්‍රේලියාවාට සරණාගතයන් බාර ගැනීමේ වැඩසටහන සඳහා සහය පළ කර ඇති බව ද මෙල්බන්හි Monash විශ්ව විද්‍යාලයේ පර්යේෂක මහාචාර්ය Andrew Markus පැවසීය.

නමුත් එම සහය දැක්වීම ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස යාත්‍රා වලින් පැමිණෙන සංක්‍රමණිකයන් සඳහා යොමු නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

පසුගිය වසර 15 පමණ ඇතුළත මෙරට මිනිසුන් ප්‍රධාන වශයෙන් සංක්‍රමණික වැඩසටහන් දෙකක් වෙන් වෙන්ව හඳුනාගෙන තිබෙන බවද ඔහු SBS සේවයට පැවසීය. ඔස්ට්‍රේලියානු රජය මගින් ක්‍රියාත්මක කරන සංක්‍රමණික වැඩසටහන සහ නීති විරෝධී යාත්‍රා මගින් පැමිණෙන සංක්‍රමණිකයන් ලෙස එම කොටස් දෙක හැඳින්වේ.

මීට අමතරව නිල වශයෙන් නම් කර සරණාගතයන් ලෙස මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් සහ නීති විරෝධී යාත්‍රා මගින් පැමිණෙන සංක්‍රමණිකයන් අතර වෙනසද ඔස්ට්‍රේලියානු ජනතාව අවබෝධ කරගෙන ඇති බව මහාචාර්ය Andrew Markus පැවසීය.

“ඔබ මානුෂීය හේතු මත විදේශයන් විසින් නම් කරන ලද සරණාගතයන් බාරගැනීම සඳහා වන වැඩසටහන සඳහා සහය දක්වන්නේද යන්න ඇසු විට 80% ක ප්‍රතිශතයක් ඒ සඳහා එකඟත්වය පළ කළ නමුත් නීති විරෝධී යාත්‍රා මගින් පැමිණෙන සංක්‍රමණිකයන් සඳහා එම කැමැත්ත 32% දක්වා පහළ ගොස් තිබෙනවා.” මහාචාර්යවරයා වැඩි දුර පැවසීය.

ඔස්ට්‍රේලියාව තුළ පවතින බහුසංස්කෘතිය පිළිබඳ 83 – 86% අතර ප්‍රමාණයකගේ සුබ වාදී අදහස් තිබෙන බව 2103 – 16 අතර කාලයේ සිදු කළ සමීක්ෂණ වලින් පෙනී ගොස් තිබේ.

ඕස්ට්‍රේලියානු සමාජය, බහුසංස්කෘතිය අවබෝධ කරගෙන සිටින ආකාරය සමස්ත වශයෙන් ධනාත්මක බව Federation of Ethnic Communities' Councils of Australia හෙවත් FECCA සංවිධානයේ සභාපති Joseph Caputo පවසයි.

“එක අතකින් ඔස්ට්‍රේලියානු ජනතාව සිතනවා, බහුසංස්කෘතිය කියන්නේ මෙරටට ඉතා හොඳ දෙයක් කියල. මොකද ඔබ හොඳට නිරීක්ෂණය කළොත් පෙනේවි, මෙරට ජනගහනයෙන් ලක්ෂ 70 කටත් අධික පිරිසක් උපත ලබල තියෙන්නේ ඔස්ට්‍රේලියාවෙන් පිටත කියල.” Joseph Caputo තව දුරටත් පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියාව ආයාසයෙන් මෙම බහු සංස්කෘතිකත්වය පවත්වාගෙන යාමට උත්සාහ දරන බව තවත් පිරිසක් සිතන බවද ඔහු පෙන්වා දුන්නේය. නමුත් සමස්තයක් වශයෙන් ගත කළ මෙම බහු සංස්කෘතිකත්වය වත්මන් පරම්පරාවන් විසින් සුබ වාදීව බාරගෙන ඇති බව පෙනෙන්නට ඇති බවද  ඔහු පැවසීය.

නමුත් ඇතැම් ජන සංස්කෘතීන් හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංස්කෘතියට බලපෑම් එල්ල වේ දෝ යන සැකය ඔස්ට්‍රේලියානු ජනතාව තුළ තිබෙන බවද Joseph Caputo අනාවරණය කළේය. උදාහරණයක් ලෙස මුස්ලිම් ජාතික ඔස්ට්‍රේලියානුවන් දැක්විය හැකිය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාව පිළිබඳ දැඩි විරුද්ධ දැක්මක් මෙරට තුළ හටගෙන  ඇති බව Scanlon වාර්තාව පෙන්වා දෙයි. පසුගිය වසරට සාපේක්ෂව එම ප්‍රතිශතය 11% සිට 14% දක්වා ඉහළ නැගීම ඊට හේතුව බව ඔවුන් පැහැදිලි කරයි.

නමුත් මෙම වෙනස්කම් මායිම්ව ඇති බවත් ඊට කුඩා ප්‍රමාණයේ ප්‍රතිචාර ලැබී ඇති බවත් අවධාරණය කර ඇත.

මීට අමතරව පසුගිය වසර තුළ සමේ වර්ණය, ජන වර්ගය හෝ ආගම මුල් කරගනිමින් සිදුවූ වෙනස්කම් 15% සිට 20% දක්වා වැඩි වී තිබෙන බවද පෙනී ගොස් තිබේ.

මෙම සමීක්ෂණ වාර්තාව සකස් කිරීම සඳහා Scanlon පදනම මගින් ඔස්ට්‍රේලියාව පුරාම නියෝජනය වන පරිදි පුද්ගලයන් 1500ක් සහභාගී කරවාගෙන දැනට පවතින සමාජ ගැටළු සම්බන්ධව නිර්මාණය කළ ප්‍රශ්න 25ක් ඔවුන් හට යොමු කර ඇත. 


Share
Published 23 November 2016 3:18pm
Updated 19 December 2016 2:06pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends