කියවීමේ සහ ගණිතමය හැකියාවන් අතරින් සංක්‍රමණික පසුබිමක් ඇති සිසුන් ඔස්ට්‍රේලියානු සිසුන්ට වඩා ඉදිරියෙන් සිටින බව හෙළිවේ. (SBS සිංහල /වාර්තා)

ලිවීම, ව්‍යාකරණ සහ විරාම ලක්ෂණ මෙන්ම ඉලක්කම් පිළිබඳ හැකියාව යන අංශ වලින්ද සංක්‍රමණික පසුබිමක් ඇති 3 වසරේ සිසුන් ඔස්ට්‍රේලියානු සිසුන්ට වඩා ලකුණු ලබගෙන ඇති බව සඳහන්.

2016 NAPLAN results

Children sit in a classroom during a lesson at Stafford State School in Brisbane, Wednesday, Aug. 5, 2015. Source: AAP

ඔස්ට්‍රේලියානු සිසුන්ගේ අධ්‍යාපන මට්ටම අගයන NAPLAN ඇගයීමේ මෙම වසරට නියමිත අවසාන ප්‍රතිඵල පිටවී තිබෙන අතර එය එතරම් සුබදායී නොවන බව වාර්තා වේ.

නමුත් ඉංග්‍රීසි නොවන පසුබිමකින් පැමිණි සිසු දරු දැරියන් ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති සිසුන්ට වඩා කියවීම සහ ගණිතය අංශ වලින් වඩා ශක්තිමත් බවද හෙළිවී තිබේ.

සංක්‍රමණික පසුබිමක් ඇති 3 වසරේ සිසුන්ගේ කියවීම ඔස්ට්‍රේලියානු සිසුන් හට වඩා සමස්ත ඔස්ට්‍රේලියාවේම ඉහළ මධ්‍ය අගයක් ලබා ගෙන ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තය සහ ටෙරිටරි හැරුණු කළ සෙසු ප්‍රාන්ත වල එම අගය වඩාත් ඉහළ බවද වාර්තා වේ.

මීට අමතරව ලිවීම, ව්‍යාකරණ සහ විරාම ලක්ෂණ මෙන්ම ඉලක්කම් පිළිබඳ හැකියාව යන අංශ වලින්ද සංක්‍රමණික පසුබිමක් ඇති 3 වසරේ සිසුන් ඔස්ට්‍රේලියානු සිසුන්ට වඩා ලකුණු ලබගෙන ඇති බව සඳහන්.

5, 7 සහ 9 යන වසර වල ඉගෙනුම ලබන ඉංග්‍රීසි පසුබිමක් නොමැති සිසුන් ගේ දක්ෂතා නොකඩවා වර්ධනය වී ඇති බවද NAPLAN ප්‍රතිඵල පෙන්වා දෙයි.

නවතම NAPLAN ප්‍රතිඵල වලට අනුව පෙර පාසල් යන ඔස්ට්‍රේලියාවේ ස්වදේශික දරුවන්ගේ ඉගෙනීමේද කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව පෙනී යයි.

ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසී සිසුන් පිළිබඳ සලකා බැලීමේදී 2016 NAPLAN ප්‍රතිඵල දිරිගන්වන සුළු බව ස්වාධීන පාසල් වල ප්‍රධානීන්ගේ සංගමයේ සභාපතිනි Karen Spiller පැවසුවාය.

3 සහ 5 වසර වල ඉගෙනුම ලබන ඔස්ට්‍රේලියාවේ ස්වදේශික දරුවන්ගේ කියවීමේ සහ ඉලක්කම් පිළිබඳ හැකියාවන්හි සමස්ත වර්ධනයක් සිදුව ඇති බවත් පෙර පාසල් අධ්‍යාපනයේ දියුණුවක් සිදුව ඇති බවත් ඇය පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශික දරුවන්ගේ අධ්‍යාපන දියුණුව ඉතා හොඳ ප්‍රවෘත්තියක් බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham, ABC ප්‍රවෘත්ති ජාලයට පැවසීය.

මීට අමතරව සංක්‍රමණික පසුබිමක් ඇති සිසුන්ගේ අධ්‍යාපන දියුණුව පිළිබඳව ද තමන් සතුටු වන බවත් ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති සිසුන්ගේ පසුබෑම පිළිබඳ කරුණු සොයා බලා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

අධ්‍යපනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍යතා අනුව බෙදාහැරිය යුතු බව මෙම ප්‍රතිඵල වලින් පැහැදිලි වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා ප්‍රතිපාදන ලබා දීමේ නව සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් එළඹෙන සිකුරාදා (16/12) අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එම කටයුතු ලබන වසරේ මුල බාගයේදී අනුමත කරගෙන 2018 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

2016 වසරේ NAPLAN ප්‍රතිඵල සාරාංශය

  • 2008 වසරට වඩා 3 සහ 5 වසර සිසුන්ගේ කියවීම වර්ධනය වී ඇති නමුත් 2015 වසරේ සිට වර්ධනයක් පෙන්නුම් නොකරයි.
  • 2008 වසර සමග සැසදීමේදී 3 වසර සිසුන්ගේ අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ සහ විරාම ලක්ෂණ, කියවීම වර්ධනය වී ඇති නමුත් 2015 වසරේ සිට වර්ධනයක් පෙන්නුම් නොකරයි.
  • 5 වසර සිසුන්ගේ ඉලක්කම් පිළිබඳ හැකියාව 2008 වසර සමග සැසදීමේදී වර්ධනය වී ඇති නමුත් 2015 වසරේ සිට වර්ධනයක් පෙන්නුම් නොකරයි.
  • 2011 වසර සමග සැසදීමේදී 9 වසර සිසුන්ගේ ලිවීමේ හැකියාව අතිශය අයහපත්ය.
  • 2008 වසර සමග සැසදීමේදී ජාතික මට්ටමේ සම්මත අගයන් වෙත ලඟා වී ඇත්තේ 3 සහ 5 වසර වල සිසුන්ගෙන් සැලකිය යුතු කොටසකි.
  • අනෙක් ප්‍රාන්ත වලට වඩා බටහිර ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්තය වැඩි දියුණුවක් පෙන්වා ඇත.
  • 3, 5 සහ 7 වසර වල සාමන්‍ය ඇගයීම් මට්ටම අනෙක් ප්‍රාන්ත වලට වඩා වික්ටෝරියානු, නිව් සවුත් වේල්ස් සහ ACT හි ඉහළම අගයක් ගෙන තිබේ. 

Share
Published 13 December 2016 10:58pm
Updated 13 December 2016 11:02pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends