මෙල්බන් ට්‍රෑම් රථ ලොව ක්‍රියාත්මක මන්දගාමීම ට්‍රෑම් රථ බව හෙළිවේ. (SBS සිංහල /වාර්තා)

ලොව ක්‍රියාත්මක මන්දගාමීම ට්‍රෑම් රථ ධාවනය වන්නේ මෙල්බන් නුවර බව මහාචාර්ය Graham Currie පවසයි. ඔහු පෙන්වා දෙන පරිදි ඒවායේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 16කි.

Melbourne's trams among world's slowest

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ධාවනය වන ට්‍රෑම් රථ, මගීන්  සහ අනෙකුත් වාහන සමග එකට ගැටීමෙන් සිදුවන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ට්‍රෑම් රථ, මගීන්ගෙන් සහ අනෙකුත් වාහන වලින් වෙන් කළ යුතු බව විශේෂඥයන් පෙන්වා දෙයි.

ට්‍රෑම් රථ වල ගැටී මගීන්ට සිදු වන දරුණු අනතුරු ශීඝ්‍රව ඉහළ යෑමක් පෙන්වන බවත් වාහන සමග ගැටීම් සිදුවී රිය අනතුරු ද කැපී පෙනෙන ලෙස ඉහළ යන බවත් Transport Safety Victoria හෙවත් TSV ආයතනයේ දත්ත මගින් අනාවරණය වී තිබේ.

2016 වසරේ පළමු මාස 9 ඇතුළත ට්‍රෑම් රථ වල ගැටී මගීන් 31 දෙනෙකු දරුණු ලෙස තුවාල ලබා තිබෙන අතර 2015 වසරේ එම කාලය තුළ මගී අනතුරු සිදුව ඇත්තේ 14ක් පමණි.

ඊට අමතරව 2016 වසරේ ඉහත කාලය තුළ ට්‍රෑම් රථ සහ අනෙකුත් වාහන එකට ගැටීම් 711ක් සිදුව ඇති අතර 2015 වසරේ එම කාලය තුළ එම අගය 587 ක් බව වාර්තා වේ.

මෝටර් රථ ධාවකයන් මාර්ග නීති පිළි නොපදින බවත් ඔවුන් ට්‍රෑම් රථ සඳහා ඉඩ නොදී මාර්ගයේ ඒකාධිපති ලෙස ගමන් කරන බවක් දක්නට ඇති බව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මහජන ගමනාගමන පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය Graham Currie පවසයි.

“අපි ට්‍රෑම් රථ වල සිටින මගීන්ගේ ආරක්ෂාව සහ ට්‍රෑම් රථ රියදුරන් පිළිබඳවද අධ්‍යනයක් සිදු කරමින් පවතිනවා. මොකද ඔවුන් තමයි මෙම සංසිද්ධි වලට නිරතුරුවම මුහුණ දෙන්නේ.” මහාචාර්යවරයා ABC මාධ්‍ය ජාලයට පැවසීය.

මෙල්බන් නුවර පවතින වාහන තදබදය සහ අනෙකුත් වාහන නිසා ට්‍රෑම් රථ රියදුරන්ට බොහෝ විට උද්වේගකර අවස්ථා වලට මුහුණ දීමට සිදු වන බව ඔහු පෙන්වා දෙයි. මීට හේතුව සැලකිය යුතු මෝටර් රථ ධාවකයින් තම රථය ට්‍රෑම් රථ ඉදිරයට දමා ධාවනය කිරීම බවද ඔහු පවසයි.එවිට ට්‍රෑම් රථ රියදුරාට කිරීමට හැක්කේ වේගය වැඩි කිරීම හෝ තිරිංග තද කිරීම පමණි.

ඒ අනුව ට්‍රෑම් රථ රියදුරන් හට එම අවස්තාවලදී ඇත්තේ විකල්ප දෙකකි. එනම්, ට්‍රෑම් රථය නතර කිරීම සඳහා වේගය කෙමෙන් අඩු කිරීම. මෙමගින් ඉදිරිපස ඇති වාහනය සමග ගැටීමක් සිදුවේ. නොඑසේනම්, ඉදරියෙන් ඇති වාහනය බේරා ගැනීමට එකවර වේගයෙන් තිරිංග තද කිරීම. මෙමගින් ට්‍රෑම් රථය තුළ සිටින මගින් හට අනතුරු සිදුවේ.

ඉහත හේතුන් නිසා ට්‍රෑම් රථ සහ අනෙකුත් වාහන ධාවනයේදී වෙන් කළ යුතු බව මහාචාර්ය Graham Currie පවසයි.

ලොව ක්‍රියාත්මක මන්දගාමීම ට්‍රෑම් රථ ධාවනය වන්නේ මෙල්බන් නුවර බවද ඔහු පවසයි. ඔහු පෙන්වා දෙන පරිදි ඒවායේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 16කි.

නමුත් වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපදවන නවතම ට්‍රෑම් රථ සඳහා ඊට වඩා වේගයෙන් ධාවනය කළ හැකි බවද ඔහු පවසයි.

මෙල්බන් නුවර මිශ්‍ර වාහන ධාවන තීරුවල දුර ප්‍රමාණය (ට්‍රෑම් රථ  සහ අනෙක් වාහන සියල්ලම එකම මාර්ගයක ධාවනය කිරීම) කිලෝ මීටර් 170ක් පමණ වන බවත් මෙම තත්ත්වය ලොව කොතැනකවත් නොමැති බවත් මහාචාර්ය වරයා පෙන්වා දෙයි.

මෙල්බන් වලට පසුව එම ලැයිස්තුවේ දෙවන තැන හිමිවන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරට වන නමුත් එහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 70 කි.

ඒ අනුව මෙල්බන් නුවරට මෙය විශාල ගැටළුවක් බව මහාචාර්ය Graham Currie පෙන්වා දෙයි.


Share
Published 24 November 2016 10:39pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends