Melbourne car attack update: සිදුවීමෙන් මියගිය සංක්‍යාව 6 ක් දක්වා ඉහල නගී - තවත් 9 ක් තාමත් බරපතල තත්වයෙන්..

Melbourne Burke street car attack

Melbourne Burke street car attack

** Update 2pm EAST (31.1.2017)

පසුගිය ජනවාරි 20 වන දින මෙල්බන් නගරයේ මධ්‍යයේ සිදුවූ මාරක මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගිය බව වාර්තා වේ.

සිද්ධියෙන් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව සිටි 33 හැවිරිදි කාන්තාවක් ඊයේ (ජන 30දා) රාත්‍රී 7.30ට පමණ මෙම සිදුවීමේ සයවන ගොදුර බවට පත්වූ බව රෝහල් බලධාරීහු පැවසුහ. එසේම අසාධ්‍ය තත්වයේ පසුවන තවත් 9 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටී.

සිඩ්නි නුවර විසූ 22 හැවිරිදි Jess Moudie, මෙල්බන් නුවර විසූ 33 හැවිරිදි Matthew Si, 25 හැවිරිදි ජපන් ජාතිකයෙකු, දස හැවිරිදි Thalia Hakin සහ තුන් මස් හැවිරිදි Zachary Bryant බිළිඳිය මෙම සිද්ධිය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සෙසු පුද්ගලයින් වේ.

මේ අනුව මෙල්බර්න් නගරයේ Burke විදියේ දී පදික ජනතාව අතරට හිතාමතාම රිය පදවාගෙන ගොස් මෙම මාරක අනතුර සිදුකල 26 හැවිරිදි Dimitrious Gargasoulas නැමති පුද්ගලයාට මිනීමැරුම් චෝදනා 5ක් සඳහා චෝදනා ගොනුවන බව පොලිසිය පවසා සිටි.

 

** Update 1pm EAST (22.1.2017)

 මෙල්බර්න් නගර මධ්‍යයේ මෝටර් රථ අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ නගී. මෙම සිදුවීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවූවන් අතර මාස 3ක ළදරුවෙකුද සිටි අතර ඊයේ ( ජන 21) මධ්‍යම රාත්‍රියට ආසන්න මොහොතකදී එම ළදරුවා මියගිය බව රෝහල් බලධාරීන් අද (22) පෙරවරුවේ නිවේදනය කොට සිටියේය.

 මේ වනවිට පුද්ගලයින් 37 ක් සඳහා ප්‍රතිකාර ලබා දී ඇති අතර ඉන් 4 දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 මේ අනුව මියගිය අයවලුන් අතර වයස අවුරුදු 10 ක දැරියක්, වයස 25 සහ 33 ක පුරුෂයින් දෙදෙනෙක්, වයස 32 ක කාන්තාවක් සහ ඊයේ දිනයේදී මියගිය මාස තුනක ළදරුවාද ඇතුළුව 5ස් දෙනෙකු වෙයි.

රජයේ කැබිනට් ආරක්ෂක කමිටු විශේෂ හමුවක්

මෙම සිදුවීමට අදාලව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ජේෂ්ඨ අමාත්‍යවරුන් ගෙන් සැදි ආරක්ෂක සහ හදිසි අවස්ථා කළමනාකරණ කැබිනට් කමිටු විශේෂ රැස්වීමක් අද දිනයේදී (22) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. එහිදී මෙවැනි සාපරාධි චුදිතයින් හට ඇප ලබාදීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක ප්‍රාන්ත නීති පිළිබඳව නැවත සලකා බැලීම සහ දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක්‌ ක්‍රියාත්මක, රාජකාරි වේලාවෙන් පසුව ඇප ලබාදීම සඳහා ස්වේච්චාවෙන් දායකත්වය ලබාදෙන නීතිඥ සේවාව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යනාදී කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

 එසේම වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙම සිදුවීමෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර කිරීමේ අරමුණින් ඩොලර් ලක්ෂයක අරමුදල් භාරයක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා ප්‍රජාවගේ සහභාගිත්වය අපේක්ෂා කරන බව ප්‍රාන්ත රජය පවසයි.

 එසේම විපතට පත්වූවන් වෙනුවෙන් ඉටි පන්දම් දල්වා රාත්‍රිය පුරා සිදුකරන විශේෂ අනුස්මරණ වැඩසටහනක් හෙට - සඳුදා (ජන 23) මෙල්බර්න් නගරයේ Federation Square හි පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.

 Burke වීදියේ මෙම සිදුවීම සිදුවූ ස්ථානයට අද (22) උදෑසන පැමිණි මධ්‍යම රජයේ විපක්ෂ නායක බිල් ශෝටර්න් මහතා විපතට පත්වූවන් වෙනුවෙන් මල් කළඹක් තැන්පත්කොට තම ශෝකය පලකොට සිටියේය. බොහෝ ජනතාව දැනටමත් මෙම ස්ථානයට පැමිණ මල්කළඹ තබා තම ශෝකය පළකරමින් සිටි.

 

** Update - 9 pm EAST (20.1.2017)

මෙල්බර්න් නගර මධ්‍යයේ මෝටර් රථ අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ නගී. මීට මොහොතකට පෙර ලද තොරතුරකට අනුව තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයයේ සිටි දරුවෙකුද ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

මෙම සිදුවීමට මුල්වූ පුද්ගලයා 26 හැවිරිදි Dimitrious Gargasoulas හෙවත් James ලෙසට හඳුනාගෙන තිබේ. ඔහුගේ පුද්ගල අනන්‍යතාවට අදාළ අනෙකුත් කරුණු පොලීසිය විසින් හෙළිදරව් කොට නොමැත.

** update - 5.00pm - EAST (20.1.2017)

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන පොලිස් කොමසාරිස් Graham Ashton පැවසුයේ  මියගිය තිදෙනා  අතර පුරුෂයෙක්, කාන්තාවක් සහ දරුවෙකු වන බවයි.  එසේම තුවාල ලැබුවන් අතරින් 4 දෙනෙකු Royal Children's Hospital වෙතද තවත් 5 දෙනෙකු The Alfred Hospital වෙතද රැගෙන ගොස් ඇති බවයි. ඒ අතරින් තිදෙනෙකු අවධානම් තත්වයේ පසුවන අතර තවත් දෙදෙනෙකුට බරපතල බවයි.

 

මුල් පුවත- The original report (3pm -EAST) - 20.1.2017

මෙල්බර්න් නගර මධ්‍යයේ පස්වරු 2 ට පමණ ඇතිවූ හදිසි තත්වයක් හේතුවෙන් මේ වන විට නගරයේ ඇතැම් මාර්ග වසා දමා තිබේ. වික්ටෝරියා පොලිසිය පවසන පරිදි අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙසට මෝටර් රථයක් ධාවනය කල පුද්ගලයෙකු එය පදික වේදිකාවේ සිටින පුද්ගලයින් වෙත ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවයි. සිදුවීමෙන් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබාතිබේ.

සිදුවීමට සම්බන්ද සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙය ත්‍රස්ත කියාවකට සම්බන්ද සිදුවීමක් නොවන බව පොලිසිය පවසයි.
මහජනයාට මෙල්බර්න් නගරයේ නිකරුනේ ගැවසීමෙන් සහ දැනට නගරය දෙසට පැමිණෙමින් සිටින අයට එහි පැමිණීමෙන් වලකින ලෙසට පොලිසිය දන්වා සිටි.

දැනට සිදුවීම සිදුවූ Burke විදිය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

This looks heavy. William and Bourke STS. pic.twitter.com/lrQSxEkeuu — Daniel Bowen (@danielbowen) 20 January 2017
!!..මෙල්බර්න් හි අද සිදුවූ  ඛේදවාචකයෙන් අනතුරුව මාධ්‍යට අදහස් පලකල වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන පොලිස් කොමසාරිස් Graham Ashton සිදුවීමේ සුල මුල පැහැදිලි කරමින්   ..!!

.@VictoriaPolice commissioner says #MelbourneAttack driver known to police for domestic violence.https://t.co/36YKJ0VzqP pic.twitter.com/oaLtiBkyZG — ABC News (@abcnews) 20 January 2017


!!..මෙල්බර්න් හි අද සිදුවූ ඛේදවාචකයෙන් අනතුරුව මාධ්‍යට අදහස් පලකල වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ..!!

 

Vic Premier @DanielAndrewsMP says he's proud of Emergency Services after the #melbourneattack Follow #live https://t.co/DELA3nt79C pic.twitter.com/2djQXUPQJk — ABC News (@abcnews) 20 January 2017

Share
Published 31 January 2017 2:27pm
Updated 31 January 2017 2:40pm
By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends