නීති විරෝධී සංක්‍රමණිකයන්ට ජීවිතාන්තය දක්වා ඔස්ට්‍රේලියාව තනහම් කිරීමට ගෙනා යෝජනාව ඉවතට විසි වෙයිද? (SBS සිංහල/ වාර්තා)

මිනිස් ජාවාරම්කරුවන් නැවැත්වීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට කැමති නමුත් සංචාරකයන් නැවත්වීම සඳහා රජයට සහය නොදක්වන බව විපක්ෂ නායක Bill Shorten වැඩි දුරටත් පැවසීය.

Labor rejects asylum-seeker visa block.

Source: SBS

ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ සහ පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් හට ජීවිතාන්තය දක්වා ඔස්ට්‍රේලියාව තනහම් දේශයක් කිරීමට ඔස්ට්‍රේලියානු රජය ගෙනා යෝජනාව කම්කරු පක්ෂය විසින් අද (08/11) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අනුව මෙම යෝජනාව සෙනට් සභාවේදී සම්මත කරගැනීමට නම් මැල්කම් ටර්න්බුල් අගමැතිවරයා හට Pauline Hanson සහ අනෙක් ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම අනිවාර්ය වී තිබේ.

නීති විරෝධී සංක්‍රමණිකයන් හට ජීවිතාන්තය දක්වා ඔස්ට්‍රේලියාව තනහම් දේශයක් කිරීමට ගෙනා යෝජනාව පිළිබඳ කම්කරු පක්ෂයේ මතය අද (08/11) එහි දේශපාලන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බව කම්කරු පක්ෂය මීට පෙර පවසා තිබුණි.

මෙම නීතිය සම්මත වුවහොත් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුල්වී ඔස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි රැඳවුම් කඳවුරු වල සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් සහ සරණාගතයන් හට ආගමන කටයුතු අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියකින් තොරව අවම වශයෙන් සංචාරක වීසා යටතේ හෝ ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වනු ඇත.

ටර්න්බුල් රජයේ බලාපොරොත්තු රහිතවූ මෙවැනි හැසිරීම් සඳහා කම්කරු පක්ෂය කිසිසේත්ම සහය නොදක්වන බව, යෝජනාව පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශ කරමින් විපක්ෂ නායක Bill Shorten පැවසුවේය.

මිනිස් ජාවාරම්කරුවන් නැවැත්වීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට කැමති නමුත් සංචාරකයන් නැවත්වීම සඳහා රජයට සහය නොදක්වන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ මුහුදේදී සිදුවන මරණ පිළිබඳ කම්කරු පක්ෂය සුළු කොට තකන බව අගමැති මැල්කම් ටර්න්බුල් පැවසුවේය.

2008 – 2009 කාලයේ Kevin Rudd සිදු කළා සේම වත්මන් කම්කරු පක්ෂ නායකයාද එම පක්ෂයට ක්‍රියා කරමින් පවතින බවද අගමැතිවරයා කියා සිටියේය.

දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත රඳවා සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් හට ස්ථාපනය වීමට තෙවන පාර්ශවීය රටක් සොයමින් යන අතරේ නීති විරෝධී සංක්‍රමණිකයන් හට කිසිදා ඔස්ට්‍රේලියාවේ ස්ථාපනය වීමට ඉඩක් නොමැති බව මිනිස් ජාවාරම්කරුවන් හට ඉතා පැහැදිලි පණිවිඩයක් යැවීම ඉතා වැදගත් බව අගමැතිවරයා පෙන්වා දෙයි.

නමුත් මෙම යෝජිත නීති කෙටුම්පතේ කිසිදු තැනක එලෙස තෙවන පාර්ශවීය රටක් සොයමින් පවතින බවට කිසිදු ස්ථානයක සඳහන්ව නොමැති බව කම්කරු පක්ෂය පැවසීය.

මේ අතර නවතම Essential මත විමසුමට අනුව අදාළ යෝජනාවට සහය දක්වන ප්‍රතිශතය 56%ක්ද අනුමත නොකරන ප්‍රමාණය 29%ක්ද නිශ්චිත තීරණයක් නොමැති ප්‍රමාණය 15%ක්ද වන බව පෙනීගොස් තිබේ. මේ සඳහා සහභාගී වූ පිරිසෙන් 52%ක ප්‍රතිශතයක් කම්කරු පක්ෂයට ඡන්දය භාවිත කළ අය බවද පැවසේ.

ඔස්ට්‍රේලියාවෙන් Nauru රැඳවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර යවන කාලයේදී වයස අවුරුදු 18ට අඩු පිරිස් සඳහා මෙම නීතිය බලාත්මක නොවන බව ද රජය පවසයි.

ඔස්ට්‍රේලියානු රජයේ මෙම යෝජනාව එක්තරා තලයක කෲර ප්‍රතිපත්තියක් බව Amnesty ජාත්‍යන්තර සංවිධානය පවසයි.

නීති විරෝධී යාත්‍රා පැමිණීම නතර කිරීමට හේතු අතර ආර්ථික හේතුද තිබෙන බව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පවසන අතර මෙම යෝජනා ගෙන ඒමට ආරක්ෂක හේතුන්ද බලපෑ බව නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan පැවසීය.

මෑතකදී යුරෝපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් අදාළ ඉලක්කගත රටවලට පැමිණ ඇත්තේ නීති විරෝධී ලෙස බව හෙළිව ඇතැයි නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan පාර්ලිමේන්තුවේදී පැවසීය. 


Share
Published 8 November 2016 10:22pm
Updated 8 November 2016 10:25pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends