ශ්‍රී ලංකා යුද්ධයේ අවසන් අදියර සඳහා ඉන්දියාව මැදිහත් වූ අයුරු පිළිබඳ අලුත්ම කතාවක්. (SBS සිංහල/වාර්තා)

මහින්ද, බැසිල් සහ ගෝඨාභය යන සුසංයෝගය තීරණ ගැනීම පහසුවෙන් මෙන්ම ඉක්මණින් කළ බවත් තීරණයක් ගත පසු එය අවසන් තීරණය බවත් එය වෙනස් කිරීම ඉතා අසීරු බවත් මෙනන් සඳහන් කරයි.

Sri Lanka War

Source: www.jdsrilanka.blogspot.com.au

ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් සහ ජාතික ආරක්ෂක ආයතනයේ ප්‍රධානී ශිව ශංකර් මෙනන් විසින් රචිත 'Choices: Inside the Making of Indian Foreign Policy' ග්‍රන්ථයේ LTTE සංවිධානය සමග ශ්‍රී ලංකාව සිදු කළ යුද්ධයේ තිරයෙන් පිටුපස ඉන්දියාව සම්බන්ධවූ ඇතැම් සිද්ධීන් විස්තර කර තිබේ.

කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පණ පිටින් දැකීමට හෝ නීතිය ඉදිරියට ගෙන ඒමට හිටපු ජනාධිපතිතුමන් හට අවශ්‍යව නොතිබූ බව එහිදී ඔහු සඳහන් කරයි. එය අනාගතයේදී තව තවත් ගැටළු මතු කිරීමට මං පෑදීම ඊට හේතුව ලෙස ඔහු සලකා ඇත.

මීට අමතරව බ්‍රිතාන්‍ය ලේඛක Mark Salter ගේ "To End A Civil War: Norway's Peace Engagement in Sri Lanka" ග්‍රන්ථයෙහි කොටි සංවිධානය සාමකාමී ලෙස යටත් වීම පිළිබඳව බැසිල් රාජපක්ෂ විවෘත මතයක සිටි බවත් මහින්ද රාජපක්ෂ අස්ථායි මතයක සිටි බවත් ගෝඨාභය රාජපක්ෂ එක හෙළා විරුද්ධව සිටි බවත් කියවේ.

එමෙන්ම 2009 වසරේ පෙබරවාරි මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරයේදී KP සමග නෝර්වේ රාජ්‍යයේ රාජ්‍ය ලේකම් Tore Hattrem පැවත්වූ රහස් සාකච්ඡාව බැසිල් රාජපක්ෂගේ පූර්ණ අනුදැනුම මත සිදු කළ බවද Mark Salter පවසයි.

ශිව ශංකර් මෙනන් සඳහන් කරන අන්දමට 1980 – 2009 කාලය අතරතුර කොටි සංවිධානය සමග ඇතිවූ යුද්ධය සඳහා ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 200ක් පමණ වැය කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී තමිල්නාඩුවේ බලපෑම මත ඉන්දියාව, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ M. K. Narayanan හරහා නිරන්තර සබඳකම් පැවැත්වූ බවද ඔහු පවසයි.

මෙම සාකච්ඡාවලදී M. K. Narayanan, ඉන්දීය ආරක්ෂක ලේකම් Vijay Singh සහ විදේශ ලේකම් ශිව ශංකර් මෙනන් ඉන්දීය පාර්ශවය නියෝජනය කළ අතර ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

මහින්ද, බැසිල් සහ ගෝඨාභය යන සුසංයෝගය තීරණ ගැනීම පහසුවෙන් මෙන්ම ඉක්මණින් කළ බවත් තීරණයක් ගත පසු එය අවසන් තීරණය බවත් එය වෙනස් කිරීම ඉතා අසීරු බවත් මෙනන් සඳහන් කරයි.

2009 වසරේ මුල් මාස 5 තුළ මෙනන් ශ්‍රී ලංකාවට නිරතුරුවම ආ ගිය සංචාරකයෙකු විය. ඒ එක් අවස්ථාවක ශිව ශංකර් මෙනන් සහ වත්මන් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා, එවකට ශ්‍රී ලංකා යුද හමුදාපති සරත් ෆොන්සේකා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණි.

එහිදී විවිධාකාරයේ විකල්ප පිළිබඳ ඔවුනොවුන් මධ්‍යම රාත්‍රිය වන තුරුම සාකච්ඡා කළ බවද මෙනන් පවසයි. කොටි සංවිධානයේ යුධමය ශක්තිය හීනවී ඔවුන්ගේ බල මුළු අඩුවෙමින් යන බවක් 2009 වසරේ ජනවාරි මැද භාගයේදී ශ්‍රී ලංකා නායකත්වයට ඒත්තු ගැන්වුණු අතර ජයග්‍රහණයේ මාවත පෙනෙන්නට විය.

ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සිදු කළ සාකච්ඡා වලදී සිවිල් වැසියන් බේරා ගැනීම සහ ඔවුන්ව යුධ කලාප වලින් නිරුපද්‍රිතව පිට කිරීම මෙන්ම පොදු සමාවක් ලබා දීම පිළිබඳව මූලිකවම අවධානය යොමු කළ බව මෙනන් අනාවරණය කරයි.

ඊට අමතරව සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වල කොටි සංවිධානයේ පිරිස් ඉලක්ක කර ප්‍රහාරක යානා ක්‍රියාත්මක නොකළ යුතු බවද සාකච්ඡා විය.

එහිදී සිවිල් වැසියන් ගේ ආරක්ෂාව පතා ඔවුන් හට ආරක්‍ෂිත කලාප නිර්මාණය කිරීමට ජනවාරි සහ පෙබරවාරි මාස වල මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවද මෙනන් ප්‍රකාශ කරයි.

මාර්තු මාසයේදී කොටි සංවිධානය තව තවත් සිවිල් ජනතාව ජීවත් වන ප්‍රදේශ වලට වැදුණු බැවින් කොටි සංවිධානය ඉලක්ක කර බර අවි වලින් පහර නොදෙන බවට ශ්‍රී ලංකා රජය පොරොන්දු විය.

ඉන්දු - ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මෙම අර්බුදයත් සමග ගලා ගිය අයුරු සහ ශ්‍රී ලංකාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවාගැනීමට සහය දීමට මෙන්ම දෙමළ අන්තවාදය වර්ධනය වීම වලක්වා ලීමට ද ඉන්දියාවට අවශ්‍යව තිබුණි.

කෙසේවෙතත්, Mark Salter ගේ ග්‍රන්ථයට අනුව නෝර්වේ රාජ්‍යයෙන් සාම නියෝජිතයෙකු මෙම කටයුතු වලට මැදිහත්වීම ඉන්දියාව ප්‍රිය නොකළ බවද සඳහන්.

2001 වසරේදී එරික් සෝල්හයිම් සහ නොර්වේ තානාපති වෙස්ට්බෝර්ග් ඉන්දීය රජයේ නියෝජිතයින් සමග ප්‍රථම වතාවට සාකච්ඡා පැවැත්වීම සඳහා සෘජුව දිල්ලිය වෙත පැමිණියෝය. ඊට පසුව ඔවුන් සියලු දෙනා ඉන්දීය විදේශ ලේකම් Lalit Mansingh හමුවූ අතර බැරෑරුම් ලෙස එම කතා බහ ආදී යන්නට විය. එහිදී Lalit Mansingh, නෝර්වේ නියෝජිතයින්ගෙන් විමසු ප්‍රධාන කරුණ වූයේ “මෙම කලාපයට දායකවීමට ඔබ සිතුවේ ඇයි ?” යන්නයි. පැය එකහමාරකට පමණ පසුව ඔවුන් නික්ම ගියේය.

එතැනින් නොනැවතුණු එරික් සෝල්හයිම්, එවකට භාරතීය ජනතා පක්ෂයේ නායක සහ බාහිර කටයුතු පිළිබඳ අමාත්‍ය  Jaswant Singh මුණ ගැසුනේය. එහිදී Jaswant Singh, සෝල්හයිම් ගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය. “ඔබ ඉවසිලිවන්තද?”. ඉන් අනතුරුව සෝල්හයිම් පැවසුවේ නෝර්වීජියානුවන් ඉවසිලිවන්ත නොවන ජාතියක් බවත් මෙම ගැටලුව ඉතා ඉක්මණින් විසඳා ගැනීමට ඔවුන් හට අවශ්‍ය බවත්ය.

එහිදී Jaswant Singh ගේ පිළිතුර අනපේක්ෂිත එකක් විය. “කාරණාව එසේ නම්, වේගවත්ම කුලී රථයක් රැගෙන මෙතැන් සිට ගුවන් තොටුපොල වෙත ගොස් එතනින් යුරෝපයට යන්න. ගොස් එහිම රැඳෙන්න. මොකද, මෙම ගැටලුව ඔය කියන ආකාරයට වේගයෙන් විසඳීමට සිතනවානම් ඔබ ඉදිරියේදී තවත් සංකීර්ණ ප්‍රශ්න ඇති කිරීමට ඉඩ සලසනවා.” යනුවෙන් ඔහු පැවසුවේය.

ඉන්දියාවේ Research and Analysis Wing හෙවත් RAW සංවිධානය ද මෙහිදී ප්‍රධාන සාධකයක් වූ බව ශිව ශංකර් මෙනන් ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ දමිළ ජනතාව තමන්ටම වෙන්වූ වෙනමම රාජ්‍යයක් සඳහා ඉල්ලීම් සිදු කරාවි යැයි ඉන්දියාව තැතිගත් අතර එනිසාම 1970 පටන් LTTE සංවිධානය සහ PLOTE, EROS, TELO, EPRLF හා TELA යන අනෙකුත් දෙමළ කණ්ඩායම් පිළිබඳව ද RAW සංවිධානය සුපරික්ෂාකාරී විය.

මේ අතර එම සංවිධාන සඳහා පුහුණුවක් හා සහයෝගය RAW සංවිධානය විසින් ලබා දුන්නා යැයි ඇතැම් පිරිස් මත පළ කරයි.

ශ්‍රී ලංකා යුද්ධයේ අවසාන මාසයේදී පටු තීරුවකට මැදිවූ සිවිල් වැසියන් බේරාගැනීම සඳහා තමන්ගේ  අදහස් ශ්‍රී ලංකාව වෙත ඉන්දියාව ලබා දුන් සහයෝගයට කෙතරම් පිටිවහලක් සැපයුවාද යන්න පිළිබඳවද මෙනන් උද්යෝගීමත්ව සඳහන් කරයි.

2009 ජනවාරියේ සිට....

යුද්ධය අවසාන අදියරේදී LTTE  සංවිධානය කුඩා ප්‍රදේශයකට සීමා වීම නිසා ඇතිවීමට හැකි,  සිවිල් වැසියන්ගේ පුළුල්  මරණ සංඛ්‍යාව පිළිබඳ ඉන්දියාව කණගාටු වූ බවත් එසේ සිතීමට හේතුව, LTTE  සංවිධානය ඒ ප්‍රදේශවල සිටින සිවිල් වැසියන්ව මිනිස් පළිහක් ලෙස භාවිත කිරීම බවත් ශිව ශංකර් මෙනන් පවසයි.

මේ හේතුව නිසා සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව අවම කිරීම ඉන්දීය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රමුඛතාව වූ බව ද ඔහු සඳහන් කරයි. අනෙක් පසින් 2009 වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණයේදී තමිල්නාඩුව අතිශය තීරණාත්මක සාධකයක්ව පැවති නිසා ශ්‍රී ලංකාවේ යුද්ධය ඉන්දියාවට විශාල බලපෑමක් එල්ල කළේය. මෙනන්ට අනුව ශ්‍රී ලංකාවේ දමිළ වැසියන් හට සිදුවන අගතිය පිළිබඳ ඉන්දියාවේ දමිළ ජනතාව කණගාටුවෙන් සිටියේය.

2009 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා හමුදාව විසින් A35 මාර්ගය සහ කලායි කලපුව අතර වර්ග කිලෝමීටර් 32ක ආරක්ෂක කලාපයක් ප්‍රකාශ කළේය. නමුත් සිවිල් වැසියන් කුඩා ප්‍රමාණයක් හට පමණක් ඊට ඇතුල් වෙන්නට හැකියාව ලැබුණි. LTTE  සංවිධානය සිවිල් වැසියන් එම කලාපය වෙත ඇතුල් වීමට බාධා කළ බවද එනිසාම  'no fire' සම්මුතිය බිඳ වැටුණු බවද ශිව ශංකර් මෙනන් පවසයි. මේ අතර එම කලාපය හරහා LTTE සාමාජිකයන් හමුදා කලාපවලට රිංගා ගනීවි යැයි සැකයක්ද ශ්‍රී ලංකා හමුදාවට විය.

2009 වසරේ පෙබරවාරි 12 වන දින ශ්‍රී ලංකා හමුදාව විසින් වයඹ  මුලතිව් ප්‍රදේශයේ නැවතත් වර්ග කිලෝමීටර් 10ක ආරක්ෂක කලාපයක් ප්‍රකාශ කළ නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිගින් දිගටම එම කලාපය වෙත ප්‍රහාර එල්ල කරන්නට විය.

මේ අතර නෝර්වේ සහ ඇමෙරිකාව සටන් විරාම ගිවිසුමක් සඳහා ශ්‍රී ලංකාව කැමති කරවාගන්නට ප්‍රයත්න දැරූ අතර ඔවුන්ට අවශ්‍ය වුයේ LTTE  සංවිධානය නිරුපද්‍රිතව බේරා ගැනීම බවද ශිව ශංකර් මෙනන් අනාවරණය කරයි.

නමුත් නව දිල්ලිය සහ තමිල්නාඩුව ඇතුළු සමස්ත ඉන්දියාවේම දේශපාලන නායකයන් එම ක්‍රියාව අනුමත නොකළේය. ප්‍රභාකරන් දෙමළ ඊළම  ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ දමිළ නායකයන් ඝාතනය කළා සේ ඉන්දියාවේ දමිළ නායකයන්ද ඝාතනය කරන බව තමිල්නාඩුවේ ඇතුළු ඉන්දියාවේ දමිළ නායකයන් සහ රංගන ශිල්පීන් දැන සිටි බවද මෙනන් පවසයි.

ඇමෙරිකාව ශ්‍රී ලංකාව වෙත යුධ හා බුද්ධි අංශ  පුහුණුව ලබා දීමට මහින්ද රාජපක්ෂ හට කැමැත්තෙන් සිටි බවත් අනෙක් පසින් ත්‍රස්ත වාදයට එරෙහිව නැගී සිටීමට විරුද්ධව මානව හිමිකම් පිළිබඳ ගැටළු මතු කළ බවත් ඔහු පවසයි.

කොටි සංවිධානය ආරක්ෂා කිරීම සඳහා යුධ ක්‍රියාවලියෙන් ඉවත් වන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළා නම්, මහින්ද රාජපක්ෂ  ඒ මොහොතේම ඉන්දියාව සමග තිබෙන සමුද්‍රීය, භූගෝලීය සහ දේශපාලනික සබඳකම් වසර 10කට හෝ ඊටත් වඩා වැඩි කාලයකට අත් හරිනු ඇතැයි ශිව ශංකර් මෙනන් සඳහන් කරයි.

2009 වන විට කොටි සංවිධානයේ නායකයා හට උපකාර කිරීමට කිසිවෙකුත් නැති විය. LTTE සංවිධානයේ අවි ආයුධ පිළිබද නියෝජිත කුමරන් පත්මනාදන් හෙවත් KP පමණක් ප්‍රභාකරන් වෙත එවෙලෙහි ගියේය.

ඔහුගේ ඇස්තමේන්තු ගත කිරීමට අනුව යුද්ධය සඳහා ශ්‍රී ලංකාවට වැය වුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක් විය. එය 2009 වසරේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් පස් ගුණයකි.

ශ්‍රී ලංකාව තුළ දේශපාලනය කිරීමට EPDP  පක්ෂය හැරුණු කළ කිසිදු දෙමළ දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් නොමැති බව මහින්ද රාජපක්ෂ විසින් තමාට පැවසූ බව ද මෙනන් පවසයි.

ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන් පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ හට පැහැදිලි දැක්මක් තිබූ බවත් ශ්‍රී ලංකා - චීන ආරක්ෂක සබඳකම් පිළිබඳ පැහැදිලි දසුනක් ඉන්දියාවට ලබා දුන් බවත් ඉන්දීය හිටපු විදේශ ලේකම් ශිව ශංකර් මෙනන් සඳහන් කරයි.

ආරක්ෂාව යනු ගෝඨාභයගේ ආත්මය වූ බවද මහින්ද රාජපක්ෂ වඩාත් චීනය සමග සබඳකම් පවත්වන විට ගෝඨාභය ඉන්දියාව පිළිබඳ සැළකිලිමත් වූ බවද මෙනන් පවසයි.

ඉන්දියාවේ ආරක්ෂක අපේක්ෂාවන් පිළිබඳ ගෞරව කරන බවත් චීනය සමග ඇති සම්බන්ධතාවය නොසඟවා ප්‍රකාශ කිරීමත් මගින් ඔවුන් දෙදෙනාම ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ඇති බැඳියාව ඔප්පු කළ බවද මෙනන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ චීනයේ යුධ ක්‍රියාකාරකම් ස්ථිර කාලීනව සිදු නොවන බවත් යුධ හා බුද්ධි අංශ පුහුණුව අවශ්‍ය විට ඉන්දියාවේ සහය  පතන බවත් ඔවුන් සහතික වූ බවද පැවසේ.

ලෝක ඉතිහාසයේ යුධමය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කළ සුළු අවස්ථා කිහිපයෙන් ශ්‍රී ලංකාවේ යුද්ධය ප්‍රධානතම එකක් බවද ශිව ශංකර් මෙනන් වැඩි දුරටත් පැවසීය.



Share
Published 21 December 2016 12:56am
Updated 22 December 2016 1:00pm
By Madhura Seneviratne


Share this with family and friends