ත්‍රස්ත ප්‍රහාර පිලිබදව දරුවන්ට කරුණු පැහැදිලි කරන්නේ කෙසේද ? (SBS සිංහල/වාර්තා)

A young girl looks on as members of the public hold candles during a candlelight vigil in Trafalgar Square, London, in honor of recent terror attack victims.

A young girl looks on as members of the public hold candles during a candlelight vigil in Trafalgar Square, London, in honor of recent terror attack victims. Source: Yui Mok/PA Wire/AAP

ලොව පුරා විවිධ රටවලින් ත්‍රස්ත ප්‍රහාර සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් පිලිබදව නිරන්තරයෙන් තොරතුරු වාර්තා වීම අවාසනාවන්ත කාරණයක් වුවත් එවැනි සිද්ධීන් සමග එදිනෙදා ජීවිතය සැලසුම් කිරීමට අපට සිදුව තිබෙනවා. පසුගියදා එංගලන්තයේ, ලන්ඩන් නුවර Westminster පාලම අසලදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මේ සදහා ආසන්නතම උදාහරණය වන අතර මීට අමතරව මාධ්‍ය ඔස්සේ විවිධ ත්‍රස්ත ප්‍රහාර පිලිබදව තොරතුරු නිරන්තරයෙන් වාර්තා වන ආකාරය දක්නට පිළිවන්. අප මුහුණ  පාන මෙවැනි සිද්ධීන් පිළිබද තොරතුරු කුඩා දරුවන් සමග බෙදා ගත යුතුද ? එසේ ඔවුන් සමග ඒ පිලිබදව කතා බහ කරන්නේ නම් අපි අනුගමනය කල යුතු වැදගත් කරුණු මොනවද? . මේ පිලිබදව Quartz වෙබ් අඩවියට 2015 වසරේ පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව Jenny Anderson ලියු ලිපියක වැදගත් කරුණු පිළිබද සාරාංශ ගත සටහනක් මේ.


2015 වසරේ නොවැම්බර් මාසයේ සිදු වූ පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් 129 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර, 300කට ආසන්න  පිරිසක් තුවාල ලැබූ බව සදහන්. මෙවැනි සිද්ධියක් සිදු වූ පසු ඒ පිලිබදව දෙමාපියන් දරුවන් සමග කතා බහ නොකළහොත්, අදාල සිද්ධිය පිලිබදව දරුවන් තමන්ගේ සිතට දැනෙන ආකාරයේ  පරිකල්පනකයක් සිතෙහි ධාරණය කරගැනීමේ අවධානමක් ඇති බැවින් ඒ පිලිබදව දරුවන් සමග සාකච්චා කිරීම වැදගත් බව මෙහිදී පෙන්වා දෙන කාරණයක්. මෙහිදී දරුවන් සමග ඉතා ප්‍රාථමික  මට්ටමෙන් හෝ සංවාදයක් ආරම්භ කර, ඒ පිලිබදව දරුවන්ගේ සිත් තුල ඇති ප්‍රශ්න වලට සවන් දීමට තමන් සුදානම් බව පැවසීම ඉතා හොඳ ආරම්භයක්. දරුවන් වයස අවුරුදු 6ට වඩා  වැඩිනම් මෙම සංවාදය ඔවුන් සමගින් අදාල සිද්ධීන් සිදු වූ සැනින් කතා බහ කිරීම වැදගත් බව විද්වතුන් පෙන්වා දී තිබේ.


Child Mind Institute නම් ආයතනයේ සභාපති Harold Koplewicz පවසන ආකාරයට, දෙමාපියන් තම දරුවන්ට අදාල සිද්ධීන් පිලිබදව පැහැදිලි නොකළහොත්, වෙනයම් අයුරකින් ඔවුන් ඒ පිලිබදව දැනගන්නා  බවත් ඒ නිසා හැකි ඉක්මනින් එවැනි සිද්ධීන් පිලිබදව දරුවන්ට උචිත අයුරින් ඔවුන් දැනුවත් කිරීම වැදගත් බවත් ඔහු පවසනවා. සංවේදී ආකාරයෙන් අදාල කාරණය පිලිබදව තොරතුරු තම දරුවට කියාදීම වැදගත් බව මෙහිදී ඔහු අවධාරණය කරන කාරණයක්. තම වයස අවුරුදු 5ක  දරුවට පැරිස් ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව ඔහු කරුණු පැහැදිලි කර තිබුනේ මේ අයුරින්.

My seven-year-old figured out what was happening pretty quickly, so I told my five-year-old: “Some bad people attacked a small number of people in Paris. The police are on it. It is very sad.

පැරිස් නුවරදී නරක  මිනිසුන් පිරිසක් සාමාන්‍ය ජනතාවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, පොලිසිය ඒ පිලිබදව සොයා බලන බවත්, එය කනගාටුදායක තත්වයක් බවත් ඔහු තම දරුවාට  පැහැදිලි කර දී තිබිණි.

උසස් පාසල් (High school) අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට මෙවැනි සිද්ධීන් පිලිබදව කරුණු කාරණා  පැහැදිලි කිරීම විටෙක පහසු විය හැකි සේම විටෙක ඉතා අසීරු විය හැකි බව සදහන් කල යුතුයි. නමුත් වර්ගවාදය , ආගම  පිලිබදව , අන්තවාදී කටයුතු පිලිබදව , ආචාර ධර්ම සහ දේශපාලනය පිලිබදව තම දරුවන් සමග සාකච්චා කිරීමට දෙමාපියන් විසින් කාල  වේලාව  වෙන් කර ගැනීම වැදගත් කරුණක්. සන්සුන්ව කුඩා දරුවන්ගේ වයසට ගැලපෙන අයුරින් අදාල සිද්ධීන් වලට අදාල කරුණු ඔවුන් සමග කතා බහ කිරීම වැදගත්.

ඔවුන්ගේ හැගීම වලට වලංගු භාවයක් ලබාදීම තවත් ඉතා වැදගත් කරුණක් වන අතර, ඔවුන් යම් සිද්ධියකට බිය බව ප්‍රකශ කළහොත්, ඒ සදහා බිය වීම අනවශ්‍ය බවත් වැඩිහිටියන් පවා බියවීම සාමාන්‍ය දෙයක් බවත් ඔවුන්ට පැවසීම තවත් වැදගත් කරුණක්. ඔවුන්ගේ බිය හෝ දුක තමන්ට දැනෙන බවත්, ඔවුන් ආරක්‍ෂිත බවත් ඒත්තු ගැන්වීම තවත් වැදගත් කරුණක්.

ත්‍රස්ත ප්‍රහාරයක් වැනි සිද්ධියකදී දරුවන් ඒ පිලිබදව දන්නේ මොනවාද ? යන්න ඔවුන්ගෙන් විමසීමත් ඒ සදහා ඌන පුර්ණ ලබාදීමත් වැදගත් බව Child Mind Institute නම් ආයතනයේ සභාපති Harold Koplewicz පවසනවා. නමුත් පමනට වඩා  තොරතුරු ලබාදීමද දරුවන්ගේ මනසට අහිතකර විය හැකි බව ඔහු පෙන්වා දෙන කාරණයක්. ලමා  මානසික විශේෂඥයින්  සදහන් කරන ආකාරයට, ISIL සංවිධානයේ ඉතිහාසය පිලිබදව කුඩා දරුවන් දැනුවත් කිරීම අයහපත් ප්‍රතිපල ගෙන දෙන තත්වයක් බවට පත් විය හැකියි.

යම් හෙයකින් දරුවන් මෙවැනි සිද්ධීන් වලට බියෙන් දෙමාපියන්ගෙන් වෙන්ව සිටීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් ආරක්ෂා කිරීමට බොහෝ දෙනෙක් සුදානමින් සිටින බව ඔවුන්ට අවබෝධ කර දීම වැදගත් කරුණක්. පොලිසිය, අනෙකුත් ආරක්ෂක නිලධාරීන්, ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල කාර්ය මණ්ඩලය, ගුරුවරුන්, පවුලේ හිතවතුන් නිරන්තරයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට සුදානමින් සිටින බව ඔවුන්ට පැහැදිලි කර දීම, ඔවුන් ආරක්ෂා සහිත බව ඒත්තු ගැන්වීමට වැදගත් පියවරක් විය හැකියි.

තවද හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් වශයෙන් සමාජය බෙදා වෙන්කිරීමට කුඩා දරුවන් කැමති අතර, නරක මිනිසුන් සිටින්නේ සමාජය තුල ඉතා සුළු පිරිසක් බව ඔවුන්ට අවබෝධ කර දීමද ඔවුන්ගේ මානසිකත්වයට යහපත් කරුණක් විය හැකි බව විද්වත් මතය වී තිබේ.


Share
Published 28 March 2017 6:52am
Updated 28 March 2017 8:21am
Source: SBS


Share this with family and friends