ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්ප්‍රදාය තවමත් රකින Boxing Day ටෙස්ට් තරගය. (SBS සිංහල/වාර්තා)

1980 වසරේ පටන් මේ දක්වා Boxing Day ටෙස්ට් තරගය පැවැත්වුණු අතර 1989 වසරේ පමණක් එය වෙනස් විය. එනම් 1989 වසරේ Boxing Day හිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමය.

History of the Boxing Day Test.

Source: Getty Images

වසරක් පාසා දෙසැම්බර් 26 වන දින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MCG) පැවැත්වෙන Boxing Day ක්‍රිකට් තරගයට දිගු ඉතිහාසයක් ඇත.

1892 වසරේදී වික්ටෝරියානු ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර Sheffield කුසලානය සඳහා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගයක් පැවැත්වුණු අතර සාම්ප්‍රදයට අනුව එය ආරම්භ වුයේ නත්තල් සමයේය.

නමුත් ප්‍රථම ජාත්‍යන්තර Boxing Day ටෙස්ට් තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ 1950 වසරේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරය. එය ඇත්තෙන්ම ආරම්භ වුයේ 1950 දෙසැම්බර් 22 වන දිනය.

මේ වන විට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන  Boxing Day ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු ග්‍රීෂ්ම සෘතුවේ නිත්‍ය අංගයක් බවට පත්ව තිබේ.

1980 වසරට පෙරාතුව මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වා ඇති Boxing Day ටෙස්ට් තරග සංඛ්‍යාව 4ක් වන අතර ඒ 1952, 1968, 1974 සහ 1975 යන වසර වලදීය.

1975 වසරේ Boxing Day ටෙස්ට් තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරය. ක්ලයිව් ලොයිඩ් කොදෙව් කණ්ඩායමේ නායකයා වූ අතර ග්‍රේග් චැපල් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා විය. මෙම තරගයේ පළමු දිනය නැරඹීමට ප්‍රේක්ෂකයන් 85,596 පැමිණි බව වාර්තා වේ. Jeff Thomson සහ Dennis Lillee යන ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් මෙම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8කින් ජය ගැනීමට සමත් විය.

1980 වසරේ පටන් මේ දක්වා Boxing Day ටෙස්ට් තරගය පැවැත්වුණු අතර 1989 වසරේ පමණක් එය වෙනස් විය. එනම් 1989 වසරේ Boxing Day හිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමය.

මෙය අලෙවිකරණයේ ඇති බලය ලෙස Monash විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාව පිළිබඳ උගන්වන ආචාර්ය Thomas Heenan පවසයි.

ඔස්ට්‍රේලියාව තුළ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය 1979 වසරේ Channel Nine වෙත ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඉතිහාසයේ දැවැන්ත චරිතයක් වූ Kerry Packer හට හැකිවීමත් සමග මෙම නව ප්‍රවනතාව නිර්මාණය විය.

ඒ අනුව Boxing Day ටෙස්ට් තරගය ඇතුළුව ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන ජනප්‍රියතම සහ විශාලතම ක්‍රීඩා ඉසව් වන Melbourne Cup, AFL අවසන් මහා තරගය මෙන්ම ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය යන ඉසව් සියල්ලම පැවැත්වෙන්නේ මෙල්බන් නුවර වීම විශේෂත්වයකි.

දෙසැම්බර් 26 වන දින ආරම්භ වන Boxing Day ටෙස්ට් තරගය සාර්ථක වීමට තවත් හේතුවක් තිබෙන බව ආචාර්ය Heenan පැවසීය. එනම් එදිනට සාප්පු සවාරි යන උදවිය හැර බොහෝ ඔස්ට්‍රේලියානුවන් දෙසැම්බර් 26 වන දින විවේක සුවයෙන් ගත කිරීමය.

Boxing Day ටෙස්ට් තරගඉතිහාසයේ වාර්තාගත ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ තිබුණේ 2013 වසරේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තරගය නැරඹීමටය. ප්‍රේක්ෂකයන් 91,112 ක් එදින තරගය නැරඹීමට පැමිණ සිටි අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම තරගය කඩුලු 8කින් ජයගැනීමට ද සමත් විය.

නමුත් පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති Boxing Day ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය සඳහා පැමිණ සිටියේ ප්‍රේක්ෂකයින් 53,389 ක් පමණි.


Share
Published 26 December 2016 7:54am
Updated 26 December 2016 7:58am
By Madhura Seneviratne
Source: Wikipedia, ABC News


Share this with family and friends