ශ්‍රී ලංකාවට මැයි 19 දා සිට GSP+ ලැබෙයි.

GSP+

Source: SBS

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලබන අපනයන සඳහා එළඹෙන මැයි 19 සිට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය හිමිවන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා  යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නැවත වරක් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පසුගිය බ්‍රහස්පතින්දා (11/05) යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ අනුමැතිය හිමිවිය. 

වත්මන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27 ක්‍රියාවට නැංවීමේදී සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා ඇති නමුත් ශ්‍රී ලංකාවට තවදුරටත් බොහෝ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා කියයි. 

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් වනතුරු ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය හිමිවනු ඇතැයි පැවැසූ මාග් මහතා එම තත්ත්වය අඛණ්ඩව වසර තුනක කාලයක මුළුල්ලේ පවත්වාගෙන යනතෙක් ජී.එස්.පී ප්ලස් සහනය හිමිවන බව ද ප්‍රකාශ කළේය.

වත්මන් තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට 2021 වනතෙක් ජී.එස්.පී ප්ලස් සහනය හිමිවනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ වන යුරෝපා සංගම් වෙළෙඳපොළට ශ්‍රී ලංකාව භාණ්ඩ 6,600කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කරන අතර එම භාණ්ඩවල මිලෙන් 66%ක පූර්ණ වශයෙන් තීරු බදු ඉවත් කෙරේ. 

මානව හිමිකම්, කම්කරු ප්‍රඥප්ති ආදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් 27කට අදාළ මූලික කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට නොහැකි වීම නිසා 2010 වසරේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි විය. 


Share
Published 16 May 2017 7:42pm
By Madhura Seneviratne
Source: Daily Mirror


Share this with family and friends