අද (පෙබ 21) පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සැසියේදී අවධානයට ලක්වූ කරුණු....(SBS සිංහල/ වාර්තා)

Parliament of Sri Lanka

Parliament of Sri Lanka

*** ශ්‍රී ලංකා තිරසර සංවර්ධන නැමැති පනත් කෙටුම්පතට උතුරු පළාත් සභාව එකඟ නොවේ. ***

තිරසාර සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් හා තිරසර සංවර්ධන සභාවක් ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතට උතුරු පළාත් සභාවේ එකඟතාවය පළ කර නොමැත.
මේ බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

එමෙන්ම  නැගෙනහිර පළාත් සභාව එම කෙටුම්පත පිළිබඳ සළකා බැලීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්  ක්‍රියාත්මක වන තෙක්  කල්තබා ඇති බවත් කතානායකවරයා නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව තුළ තිරසාර  සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අදාළව තිරසර සංවර්ධන සභාවක් පිහිටුවීමේ මෙම පනත් කෙටුම්පත  පසුගිය ජනවාරි නව වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

තිරසර සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් හා තිරසර සංවර්ධන සභාවක් ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතට අදාළව නිවේදනය ප්‍රකාශයට පත්කරමින් කතානායකවරයා මෙසේද පැවසීය.

''ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් කිරීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පත 2017 ජනවාරි මස 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 උ (5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාර එක් එක් පළාත් සභාවට යොමු කර ඇති අතර,  2017 ජනවාරි මස 10 දින සිට මාසයක් ඇතුලත ඒ ඒ පළාත් සභාවේ අදහස් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස ස්ථාවර නියෝග අංක 46අ (2)(අ) යටතේ ඉල්ලා සිටින ලදී.
ඒ අනුව, උතුරු මැද පළාත් සභාව, මධ්‍යම, වයඹ, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව යන පළාත් සභා පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව සංශෝධන වලට යටත්ව එකී සභාවල එකඟතාවය පළ කර ඇත.
උතුරු පළාත් සභාව මෙම පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා එකඟ වී නොමැති අතර නැගෙනහිර පළාත් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක වනතෙක් සලකා බැලීම කල්තබන ලද බව දැනුම් දී ඇත.
එකී පළාත් සභාවල අදහස් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ද ආර්ථික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට ද යොමු කරනු ලැබේ.''

*** රටතුළ පාසල් ගුරුවරු 60,000ක හිඟයක් ***


රටතුළ පාසල් ගුරුවරු 60,000ක හිඟයක් පවතින බවත් ගුරු තුලනයක් සිදු කිරීමට පළාත් සභාවල එකඟතාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව පළාත් සභා සමඟ කතා කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ගුරුවරු 40,000ක අතිරික්තයක් පවතින බව ද ගුරු තුලනය කිරීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී  අශෝක ප්‍රියන්ත මහතා විමසූ වාචික පිළිතුරු අපේක්ෂා කරන පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

 

*** බේරුවල අනතුරින් මියගිය තැනැත්තෙකුට රුපියල් ලක්ෂයක වන්දියක් : ආපදා කළමනාකරණ අමාත්‍ය වරයා කියයි. ***

කළුතර බේරුවල,මුහුදේ බෝට්ටුවක් පෙරළි සිදු වූ අනතුරින් මියගිය තැනැත්තන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි දීමනාවක් ද රෝහල්ගත වූවන් වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමතිය ලබාගත් බව  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මෙම ගෙවීම් කටයුතු හෙට සිට සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ සඳහා චක්‍රලේකයක් නොතිබූ බැවින්  අමාත්‍ය මණ්ඩල අවසරය ලබාගත් බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පසුගිය දා බේරුවල කටුකුරුන්ද ප්‍රදේශයේ මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරින් 11 දෙනෙකු මරණයට පත්විය.

 

*** දිස්ත්‍රික්ක විස්සක පවුල් 281,562කට වියළි කාලගුණයෙන් පීඩා ***

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විස්සක  පවුල් 281 562ක් බපලෑමට ලක්වී සිටින බවත් වූ ජනතාව වෙනුවෙන් මාර්තු මස සිට මාස හතරක කාලයක් මුදල් ආධාර ලබාදීමට ක්‍රියාකරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අපදාවට ලක්වූවන් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

අදාළ ආධාර මුදල් ලබාදීමට ප්‍රථම දිසාපතිවරුන් මාර්ගයෙන් හා කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය මාර්ගයෙන් සංගණනයක් සිදු කෙරේ. එමෙන් ම කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මඟින් හානි වූ වගාබිම් අක්කරයක් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.
පානීය ජලය ලබාදීම සඳහා ජල ටැංකි ලබාදීම සිදු කර ඇති අතර තවත් ජල ටැංකි  3000ක් ලබාදීමට ද ක්‍රියා කරන බවද දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ඒවා ලබාදීමට ක්‍රියාකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 281,562ක් ආපදාවට පත්වී තිබේ. වග කිරීමට නොහැකි පවුල් සඳහා ප්‍රාදේශීයව හඳුනාගත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කිරීමට හා මුදල් සහ ආහාර ලබාදීමට ක්‍රියාකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

*** අපනයන වෙළඳපොළේ විවිධාංගීකරණයක් සිදු කිරීම අත්‍යාවශ්‍යයි : මලික් සමරවික්‍රම ***

අපනයන වෙළඳපොළේ විවිධාංගීකරණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් අපනයනය සඳහා අලුත් වෙළඳපොළ  සළකා බැලීමට කාලය එළඹී තිබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත  යටතේ නියෝගය, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේ දී විවාදය සඳහා ඉදිරිපත්  කරමින් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

"පසුගිය වසර 20ක කාලය තුළ සුළු වශයෙන් අපනයනය විවිධාංගීකරණය සිදුව තිබෙන්නේ. අපට අපනයනය කළ හැකි භාණ්ඩවල සීමාවක් තිබෙනවා. අපේ රටේ අපනයන ඵලදායිතාව රටේ සමස්ත ඵලදායිතාවය සපේක්ෂව වර්ධනය වී නෑ. මෙහිදී තවදුරටත් අපනයන විවිධාංගීකරණය කිරීම වැදගත් වෙනවා." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තායිලන්තය, පාකිස්තානය සමඟ අපනයන කටයුතු සිදු කරන අතර ඉන්දියාව සමඟ විශේෂයෙන් විස්තීර්ණ ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

 

*** මීතොටමුල්ල කසළ කන්ද ඉවත් කිරීමට වසර දෙකක් ***

මීතොට මුල්ල කසළ කන්ද එම ස්ථානයේ ඉවත් කිරීමට වසර දෙකක් පමණ ගතවන බව  මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා යොමු කළ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

 

*** ගම්මිරිස් වගාව ප්‍රචලිත කිරීමට විශේෂ ව්‍යාපෘතියක් : අමාත්‍ය දයා ගමගේ ***

උසස් තත්ත්වයේ ගම්මිරිස් වගාව රටේ ප්‍රචලිත කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසන ලද වාචික පැනයකට පිළිතුරු ලබාදෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ගුණාත්මක ගම්මිරිස් වගවන් සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන බව කී අමාත්‍යවරයා,ගම්මිරිස් වගකරුවන්ට අවශ්‍ය පහසුකම්, සහන සැලසීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේ ය.

 

 


Share
Published 21 February 2017 8:48pm
Updated 22 February 2017 11:45am
By Dinesha Dilrukshi Wijesuriya
Source: News Sri Lanka

Share this with family and friends