ඔස්ට්‍රේලියාවේ රැකියා කරන සංක්‍රමණිකයන්ට උණුසුම් ප්‍රවෘත්තියක්. (SBS සිංහල/ වාර්තා)

අධික දඩ මුදල් අය කිරීම සඳහා ‘serious contraventions’ යනුවෙන් නව දඩ මුදල් ඛාණ්ඩයක්ද හඳුන්වා දීමට සැරසෙන අතර දැනුවත්ව මේ සම්බන්ධ නීති කඩ කරන සේවායෝජකයන් හට සේවායෝජකයාගේ ප්‍රමාණය නොබලා එකී දඩ මුදල නියම කෙරෙනු ඇත.

 PROTECT MIGRANT WORKERS

Source: Shutterstock

කූඨ සේවායෝජකයන්ගේ සූරා කෑමට හසුවන ඔස්ට්‍රේලියාවේ රැකියා කරන සංක්‍රමණිකයන් (migrant workers in Australia) ආරක්ෂා කරන බවට  ලිබරල් සන්ධාන රජය ලබා දුන් මැතිවරණ පොරොන්දුව ඉෂ්ඨ කිරීමට මුල පිරූ බව රැකියා කටයුතු ඇමතිනී Michaelia Cash ඊයේ (04/10) ප්‍රකාශ කළාය.

ඒ අනුව රැකියා කරන සංක්‍රමණිකයන් එවැනි අනතුරු වලින් බේරාගැනීමට සහ ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු සම්පාදනය කරන විශේෂ කණ්ඩායමක් මහාචාර්ය Allan Fels ගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.

නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ලබන සේවකයන් පිළිබඳ මෙන්ම  රැකියා කරන සංක්‍රමණිකයන් සූරා කන සේවායෝජකයන් පිළිබඳවද එම කණ්ඩායම විසින් රජය දැනුවත් කිරීමට නියමිතය. මීට අමතරව සියලු සේවකයන් හට රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙයින් හැකිවන බවද රජය විශ්වාස කරයි.

“පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේ රැකියා කරන සංක්‍රමණිකයන් හට අඩු වැටුප් ලබාදීම් සහ ශ්‍රමය සූරා කෑම් පිළිබඳ සිදුවීම් කිහිපයක්ම අහන්නට ලැබුනා. නමුත් බොහෝ සේවායෝජකයන් තම සේවකයන් හට නියමිත අන්දමින් සේවක අයිතීන් ලබා දෙන බවද කියන්නට අවශ්‍යයි. නමුත් ඔස්ට්‍රේලියානු රැකියා ස්ථාන කූඨ සේවායෝජකයන්ගේ ග්‍රහණයට හසුවන්නට ඉඩ දෙන්න බැහැ.” රැකියා කටයුතු ඇමතිනී Michaelia Cash පැවසීය.

පසුගිය සමයේ රැකියා කරන සංක්‍රමණිකයන් මුහුණ දුන් සේවා ස්ථාන ගැටළු පිළිබඳ විමසීමේදී ඇතැම් සේවායෝජකයන් ඔස්ට්‍රේලියානු නීතිය දැන දැනත් එම නීති කඩ කර ඇති බව පෙනෙන්නට තිබේ.

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක 7-ELEVEN ජාලයේ අධිකාරී ශාඛා කිහිපයකම සේවය කරන සේවකයන් හට නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ගෙවීමේ සිදුවීම් පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ විය. ඒ අනුව සේවා සුරක්ෂිතතාව පිළිබඳ කටයුතු කරන මෙම නව කණ්ඩායම අදාළ 7-ELEVEN ශාඛා පිළිබඳ විමසිල්ලෙන් සිටින අතර මේ සම්බන්ධ නීති කඩ කරන කුමණ හෝ ආයතනයකට එරෙහිව අධික දඩ මුදල් නියම කිරීමට අපේක්ෂා කරයි.

මෙම විශේෂ කණ්ඩායමේ සභාපති ලෙස මහාචාර්ය Allan Fels කටයුතු කරන අතර ආචාර්ය David Cousins නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරන බව රැකියා කටයුතු ඇමතිනී Michaelia Cash පැවසීය. මෙම ධුර කාලයන් මාස 18කට ක්‍රියාත්මක වන බවද ඇය පැවසීය.

“මහාචාර්ය Allan Fels යනු මෙම විෂයයෙහි අත්දැකීම් බහුල චරිතයක්. ඒ නිසා ඔහු මෙම කණ්ඩායමට ඉතා වටිනා පුද්ගලයෙක්. අනතුරට පත්වන රැකියා කරන සංක්‍රමණිකයන් පිළිබඳ ක්‍රමෝපාය මාර්ගයන් සකස් කර රජයට සහය දැක්වීමට ඒ අනුව මේ ඇයට හැකි වේවි.” Michaelia Cash වැඩි දුරටත් පැවසීය.

“රැකියා කරන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට අතිශය වැදගත් දායකත්වයක් සපයන කොටසක්. අධ්‍යාපනයට, සංචාරයට සහ රැකියා කිරීමට සිත් ගත් ස්ථානයක් බවට ඔස්ට්‍රේලියාව පත් කිරීමට අපිට වගකීමක් තියෙනවා. අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ රැකියා කරන සංක්‍රමණිකයන් ඉතා ඉක්මනින්ම සූරා කෑම් වලට ලක්වන බව. ඒ නිසා එම ක්‍රියා වහාම නැවත්වීමට සුදුසු පියවර ගැනීමට අපි අපේක්ෂා කරනවා.” Michaelia Cash තව දුරටත් පෙන්වා දුන්නාය.

රැකියා සුරක්ෂිත කිරීමේ කමිටුව විසින් ගනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග පහත පරිදි වේ.

  1. නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් වැටුප් ගෙවන හා සේවක වාර්තා නිසි පරිදි පවත්වාගෙන නොයන සේවායෝජකයන් හට දඩ මුදල් වැඩි කිරීම. අධික දඩ මුදල් අය කිරීම සඳහා ‘serious contraventions’ යනුවෙන් නව දඩ මුදල් ඛාණ්ඩයක්ද හඳුන්වා දීමට සැරසෙන අතර දැනුවත්ව මේ සම්බන්ධ නීති කඩ කරන සේවායෝජකයන් හට සේවායෝජකයාගේ ප්‍රමාණය නොබලා එකී දඩ මුදල නියම කෙරෙනු ඇත.
  2. අධිකාරි ජාල ශාඛා වල(franchisees) ශ්‍රම සූරාකෑම පිළිබඳ නිසි පියවර නොගන්නා අධිකාරි ආයතන (franchisors) සඳහා නව නියෝග හඳුන්වා දීම.
  3. Fair Work Ombudsman ආයතනයේ වැඩ කටයුතු තවත් කාර්යක්ෂම කිරීමට ඩොලර් මිලියන 20ක ප්‍රතිපාදන සැපයීම.
  4. Fair Work Ombudsman ආයතනයේ බලය තවත් වැඩි කර ශ්‍රමය සූරා කෑමට ලක්වූ සේවකයන් හට වඩා ඵලදායී සේවාවක් සැපයීමට ඉඩ සැලසීම. 

Share
Published 5 October 2016 12:31am
Updated 5 October 2016 12:40am
By Madhura Seneviratne


Share this with family and friends