බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය - නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න ශ්‍රී ලංකා සංචිතයට

Sri Lankan bowler Rangana Herath successfully appeals to dismiss Pakistan's Junaid Khan during the fifth day of the first test cricket match in Galle, Sri Lanka, Sunday, Aug. 10, 2014. (AP Photo/Eranga Jayawardena)

Sri Lanka's spinner Rangana Herath skittled Pakistan's top order to surpass the 250-wicket mark. (AAP) Source: AP

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස (මාර්තු) 7 දා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය වෙනස්කම් කීපයක් සමගින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය මාස කීපයේදී එක්  දින සහ 20-20 තරග පිටියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න සංචිතයට ඇතුලත්වීම විශේෂ කාරණයක්.

තවද එංගලන්ත "ඒ" කණ්ඩායමට එරෙහි දෙවැනි සිව්දින තරගයේදී කඩුලු  13ක් දවාගැනීමට සමත් වූ නවක දග  පන්දු යවන ක්‍රීඩක මිලින්ද පුෂ්පකුමාරද ශ්‍රී ලංකා සංචිතයට එක් කොට තිබේ. ලහිරු කුමාර, සුරංග ලක්මාල් , නුවන් ප්‍රදීප් සහ විකුම් සංජය යන වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කර ඇති අතර රංගන හේරත්ගේ මුලිකත්වයෙන් දග  පන්දු යවනන්ගේ බල ඇණියට එක් වන්නේ දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සදකැන්  යන ක්‍රීඩකයින්ය.

පසුගිය වකවානුව තුල ජාත්‍යන්තර සහ දේශීය තරග වලදී දැක්  වූ දුර්වල දක්ෂතා හේතුවෙන් කුසල් පෙරේරා සහ කෞෂාල්  සිල්වා කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර පසුගියදා එංගලන්ත ඒ කණ්ඩායමට එරෙහිව දැක්වූ දස්කම් හේතුවෙන් දිමුත් කරුණාරත්නහට මෙම තරගාවලියේදී කණ්ඩායම තුල තම ස්ථානය ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. එංගලන්ත "ඒ" කණ්ඩායම සහ ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම අතර පසුගියදා පැවති  දෙවන සිව් දින ක්‍රිකට් තරගයේදී ලකුණු 212ක් වාර්තා කරන්නට දිමුත් කරුණාරත්න සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකත්වය දරන ඇන්ජලෝ මැතිව්ස්ගේ අබාධ සහිත තත්වය තවමත් සුව අතට හැරී  නොමැති නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ සුපිරි දග  පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හටයි. පසුගිය සිම්බාවේ ටෙස්ට් තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ රංගන හේරත් විසිනි.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය


රංගන හේරත් (නායක), නිරෝෂන් දික්‌වැල්ල, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, උපුල් තරංග, අසේල ගුණරත්න, මලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, සුරංග ලක්‌මාල්, විකුම් සංජය, ඩිල්රුවන් පෙරේරා සහ ලක්‍ෂාන් සඳකැන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ


තවද මෙම තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අදාල කටයුත්තකට සම්බන්ද වූ පළමු වතාව මෙය බව සදහන්. 1996 වසරේ ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරදුන් කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අසංක ගුරුසිංහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ පුහුණු උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු  වශයෙන් කටයුතු කල රංජිත්  ප්‍රනාන්දු මහතා සංචාර කළමනාකරු (Tour Manager ) වශයෙන් නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

බංග්ලාදේශ කණ්ඩායමේ 100 වැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවේදී


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹදී පවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය බංගලදේශය සහභාගී වන 100 වැනි ටෙස්ට් තරගය බව සදහන්. 2000 වසරේ නොවැම්බර් මාසයේ බංග්ලාදේශය ටෙස්ට් වරම් හිමි කරගත් අතර, වසර 16 කට  ආසන්න  කාලයකට පසුව ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගයට සහභාගී වීම සුවිශේෂී සිදුවීමක්.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පැහැදිලි ලෙස අභියෝග කල හැකි කණ්ඩායමක් තමන් සතු බව බංග්ලාදේශ ක්‍රිකට් නායක මුෂ්ෆිකර් රහීම් පවසයි. ඇන්ජලෝ මැතිව්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ප්‍රවිෂ්ඨ වීමත්, ශ්‍රී ලාංකික  පුහුණු කරුවන්ගෙන් තම කණ්ඩායමට ලැබෙන සහයත් සමගින් තම කණ්ඩායම ශක්තිමත් ස්ථාවරයක සිටින බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන චන්දික හතුරුසිංහ මහතායි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය - තරග කාල සටහන

 

ටෙස්ට් තරගාවලිය


ශ්‍රී ලංකා  -  බංග්ලාදේශ පලමු ටෙස්ට් තරගය - මාර්තු 7 - 11 - ගාල්ල
ශ්‍රී ලංකා  -  බංග්ලාදේශ දෙවැනි  ටෙස්ට් තරගය - මාර්තු 15-19 - කොළඹ

එක් දින තරගාවලිය

ශ්‍රී ලංකා  -  බංග්ලාදේශ පළමු එක්  දින  තරගය - මාර්තු 25 දඹුල්ල
ශ්‍රී ලංකා  -  බංග්ලාදේශ දෙවැනි  එක්  දින  තරගය - මාර්තු 28 දඹුල්ල
ශ්‍රී ලංකා  -  බංග්ලාදේශ තුන්වැනි   එක්  දින  තරගය - අප්‍රේල් 1  කොළඹ

20-20 තරගාවලිය


ශ්‍රී ලංකා  -  බංග්ලාදේශ   පලමු  20-20  තරගය - අප්‍රේල් 4  කොළඹ
ශ්‍රී ලංකා  -  බංග්ලාදේශ   දෙවැනි  20-20  තරගය - අප්‍රේල් 6  කොළඹ


Share
Published 1 March 2017 8:42am
Updated 1 March 2017 9:39am
By Sanjaya Dissanayake


Share this with family and friends