ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ වර්ජනයකට සැරසෙති

තරග ජයගන්නා ආකාරය අනුව උපයන ලාභය මත පදනම්ව ක්‍රීඩකයින්ට වැටුප් ගෙවන ක්‍රමවේදයක් ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය යෝජනා කර ඇති අතර, අදාල යෝජනාවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය තම විරෝධය පල කර තිබේ. ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය ලබන ලාභයෙන් ස්ථාවර මුදලක් ක්‍රීඩකයින්ට ලැබෙන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක අතර, අදාල ක්‍රමවේදයට තමන් කැමති බව ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙකුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

Australian Test cricketers

The Australian Cricketers' Association has slammed Cricket Australia's handling of a pay dispute. (AAP) Source: AP

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා වැටුප් ගෙවීමේද, මීළඟ ගිවිසුම් කාලයේ සිට ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය මගින් නව ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර, එම නව ක්‍රමවේදය සමග එකග විය නොහැකි බව, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

තරග ජයගන්නා  ආකාරය අනුව උපයන ලාභය මත පදනම්ව ක්‍රීඩකයින්ට වැටුප් ගෙවන ක්‍රමවේදයක් ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය යෝජනා කර ඇති අතර, අදාල යෝජනාවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය තම විරෝධය පල කර තිබේ. ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය ලබන ලාභයෙන් ස්ථාවර මුදලක් ක්‍රීඩකයින්ට ලැබෙන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක අතර, අදාල ක්‍රමවේදයට තමන් කැමති බව ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙකුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

මෙම ගැටළු කාරී තත්වයට විසදුමක් නොලැබෙන බැවින් තුන්වැනි පාර්ශ්වයකට මැදිහත් වී අදාල ගැටලුව විසදන ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක Alistair Nicholson ඉල්ලීමක් කර තිබේ.  දැනට පවතින ක්‍රීඩක ගිවිසුම් එළබෙන ජුනි 30 වනදායින් අවසන් වන බවත්, ඒ නිසා මේ සදහා විසදුමක් ලබාදීමට තුන්වැනි පාර්ශවයක මැදිහත් වීම අවශ්‍ය බවත් Nicholson මහතා පවසයි.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය මගින් යෝජනා කර ඇති නව ක්‍රමවේදයට අනුව, ජුලි 1 දා සිට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් සදහා  ලැබෙන මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 79,000  සිට 179,000  ඉහල යනු ඇති බව සදහන්. තවද දේශීය තරග ගාස්තුව දෙගුණයකට වඩා  ඉහල දමමින් ඩොලර් 52,000ක් බවට පත් කර ඇති බව වැඩි දුරටත් සදහන්.

 තවද  2021/22 තරගවාරය වන විට ජාතික පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවන මුදල සියයට 25කින් ඉහල යන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය පවසයි. තවද ක්‍රීඩකයින් සදහා ගෙවන දේශීය තරග ගාස්තුද සියයට 18කින් ඉහල යාමට නියමිත බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය වැඩි දුරටත් සදහන් කරයි.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනයේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය වෙනත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, අදාල යෝජනාවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බව සදහන්. මේ තත්වය යටතේ තම ඉල්ලීම් නොලැබුණහොත් තමන් වර්ජන ක්‍රියා මාර්ගයකට යන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රකාශ කර තිබේ.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන හිටපු ඕස්ට්‍රේලියානු නායක Mark Taylor පවසන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය මෙහිදී කටයුතු කරන්නේ යහපත් චේතනාවෙන් නොවන බවයි. ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනයේ යෝජනාව ඉදිරිපත් වීමටත් පෙර සිට, ක්‍රීඩකයින්  ජුලි මාසයේ සිට වර්ජන ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව තමන් සමග ක්‍රීඩකයින් ප්‍රකාශ කල බව Mark Taylor  Nine මාධ්‍ය ජාලයට  පසුගියදා ප්‍රකාශ කර තිබිණි.  ක්‍රිකට් ක්‍රීඩාව ලබන ලාභ සෑම  වසරකම ඉහල යන බවත් මෙමගින් පාඩු සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් ඔහු වැඩි දුරටත් පවසයි.  

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අදායම පසුගිය වසර හතර තුල තුන් ගුණයකින් වැඩි වී ඇති අතර  2016 වසරේ ප්‍රකාශිත අදායම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 333කට අධික බව සදහන්.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගිවිසුම් පිලිබදව අස්ථාවර තත්වයක් පවතින බවත් ජුනි 30 දා  වන විට මේ සදහා විසදුමක් නොලැබුණහොත් තමන් කණ්ඩායමක් ලෙස තීරණයක් ගන්නා  බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක Alistair Nicholson ප්‍රකාශ කර තිබේ.


Share
Published 16 May 2017 4:07am
Updated 16 May 2017 4:14am
By Sanjaya Dissanayake


Share this with family and friends