වයස අවුරුදු 45 වැනි වයස් සිමාවේ සිට ඕස්ට්‍රේලියානුවන් රැකියා ස්ථානයේදී වයස අනුව වෙනස් කම් වලට

වයස අවුරුදු 45 වැනි වයස් සිමාවේ සිට ඕස්ට්‍රේලියාව තුල රැකියා ස්ථානයේදී වයස අනුව වෙනස් කම් වලට භාජනය වීම් දක්නට ලැබෙන බව නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ.

Age Discrimination

Source: ADEA

ඕස්ට්‍රේලියානුවන් තුනෙන් එකකට ආසන්න  ප්‍රමාණයක් රැකියාවල නිරතව සිටියදී හෝ රැකියාවන් සොයා යාමේදී ගෙවී ගිය මාස  12 තුල වයස හේතුවෙන් යම් යම් වෙනස් කම් වලට භාජනය වී ඇතැයි  වාර්තාවක් පෙන්වා දී තිබේ. වයස අවුරුදු 45 වැනි වයස් සිමාවේ සිටින අයත්  මෙලෙස වයස හේතුවෙන් වෙනස්කම් වලට භාජනය වීම් දක්නට ලැබෙන බව මෙම සමීක්ෂණය පෙන්වා දී තිබේ.  ඕස්ට්‍රේලියාව  පුරා  වයස අවුරුදු 45ට වැඩි කාන්තා  සහ පිරිමි 2500 ක පිරිසක්ද, දුරකථනය  ඔස්සේ තවත් 100කට ආසන්න  පිරිසක්ද සම්බන්ද කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති බව සදහන්.

සමහරක් සේවායෝජකයින්  වයස්ගත සේවකයින් පිලිබදව ඍණාත්මක ආකල්ප ඇතිව කටයුතු කරන බවත්, වයස්ගත අයගේ කුසලතා සහ යමක් ඉගෙන ගැනීමට ඇති හැකියාවේ අඩු පාඩුකම් ඇති බවට ඔවුන් විශ්වාශ කරන බවත් මෙහිදී හෙළිවී ඇති කරුණක්. තවද රැකියා ස්ථානය තුල උසස්වීම් ලැබීමේදී, පුහුණු කටයුතු වලට යොමුකිරීමේදී  සහ රැකියාව සුරක්ෂිත කරගැනීමේදී වයස්ගත සේවකයින් දුෂ්කරතා වලට මුහුණ දෙන බව සදහන්.

මීට  පෙර ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම මේ පිලිබදව  සිදුකල සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිපල වලටද මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇති තොරතුරු සමාන අතර, වයස අවුරුදු 50ට වැඩි ඕස්ට්‍රේලියානුවන් 27% ක් තම රැකියා ස්ථානයේදී වයස හේතුවෙන් වෙනස්කම් වලට භාජනය වන බව මානව හිමිකම් කොමිසමේ  වාර්තාව පෙන්වා  දී තිබිණි.

සේවා ස්ථානය හදුන්වාදෙන නව ක්‍රමවේද හෝ නව තාක්ෂනය හසු කරගැනීමේදී වයස්ගත සේවකයින් මන්දගාමී වනු ඇති බවට සේවා යෝජකයින් සහ සමහරක් ඔවුන් සමග එකට සේවය කරන සේවකයින් විශ්වාශ කිරීම මේ තත්වයට තවත් එක්  හේතුවක්. තවද වයස්ගත පිරිමි සේවකයින් ඔවුන්ගේ කායික හැකියාවන් මත පදනම්ව රැකියා ස්ථානයේදී වෙනස්කම් වලට ලක්වන බව මෙම වාර්තාව පෙන්වා දෙන කාරණයක්.

ඉදිකිරීම  කේෂ්ත්‍රය, පරිපාලන සේවය, අධ්‍යාපන, නිෂ්පාදන කේෂ්ත්‍රය, අත්‍යවශ්‍ය සේවා සහ තොරතුරු තාක්ෂණ සේවා යන කේෂ්ත්‍ර වල බහුල වශයෙන් සේවකයින් වයස අනුව වෙනස්කම් වලට භාජනය වීම බහුල වශයෙන් දක්නට ලැබෙන බව වාර්තා පේනවා දී තිබේ.

මේ පිලිබදව සිදු කල නවතම සමීක්ෂණයට සහභාගී වූ, විශ්‍රාමික පිරිස් වලින් තුනෙන් දෙකකට වඩා  වැඩි පිරිසක්, ඔවුන්ගේ කැමැත්තෙන් තොරව තමන් නිරතව සිටි රැකියාවෙන් ඉවත්වන්නට සිදු වූ අය  බව සදහන්.  තවද රැකියා ස්ථානයේදී මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම් ( කළමනාකාරීත්වයේ කටයුතු හේතුවෙන්, බාහිර පාර්ශව සමග කටයුතු කිරීමේදී, තමන් සමග එකට සේවය කරන අයගේ ක්‍රියාවන් හේතුවෙන් ) හේතුවෙන් සැලකිය යුතු පිරිසක් තම රැකියාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ. තරුණ කළමනාකරුවන් තමන් යටතේ සේවය කරන වයස්ගත සේවකයින් හෙතුවෙන් තර්ජනයට ලක් වී ඇති ස්වරුපයක් විටෙක පෙන්නුම් කරන බව මෙම සමීක්ෂණයට සහභාගී වූ වයස්ගත සේවකයින් පෙන්වා දී තිබේ.

වයස අනුව රැකියා ස්ථානයේදී වෙනස් කම් වලට භාජනය වීමට එරෙහිව අපි සටන් කල යුත්තේ ඇයි ?

වයස අනුව කෙනෙකු රැකියා ස්ථානය තුලදී හෝ අවස්ථාවකදී වෙනස් කම් වලට භාජනය කිරීම සදාචාරයට සහ ආචාරධර්ම වලට පටහැනි කාරණයක් වීමට අමතරව එය රජයේ අනෙක් ප්‍රතිපත්ති සමගද සබැදෙන කාරණයක්. විශ්‍රාම වැටුප් දීමනා  මත යැපෙන වැඩිහිටි ජනගහනය අවම කිරීමට රජය උත්සාහ  කරන අතර, වැඩි කාලයක් ශ්‍රම බලකායේ රැදී සිටිමින්, තම Superannuation ගිණුමේ ඇති ඉතුරුම් වැඩි කරගනිමින් සමාජ සුභ සාධන දීමනා  මත අඩුවෙන් යැපෙන පිරිසක් බිහිකරගැනීම රජයේ ඉලක්කය වී තිබේ. නමුත් මෙලෙස වයස අනුව සිදුවන වෙනස් කම් හේතුවෙන් වැඩි පිරිසක් නියමිත කාලයට පෙර විශ්‍රාම ගැනීමට තීරණය කිරීමෙන් රජයට එම ඉලක්කය සපුරා ගැනීම අපහසු වනු ඇති.

වයස්ගත සේවකයින් පිලිබදව ඇති දුර්මත සහ ඍණාත්මක ආකල්ප වෙනස් කිරීම සහ ඒ ආශ්‍රිත ප්‍රතිපත්තිමය තීරණ ගැනීම මෙලෙස වයස අනුව රැකියා ස්ථානයේ සිදුවන වෙනස්කම් අවම කිරීමට ප්‍රධාන විසදුම් ලෙස යෝජනා කර තිබේ.


 







Share
Published 2 May 2017 6:55am
Updated 2 May 2017 9:03am
By Sanjaya Dissanayake


Share this with family and friends