මේ සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් - SBS සිංහල වාර්තා කරයි...

මේ සතිය තුලදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර වලදී අවධානයට ලක්වුණු විශේෂ කරුණු...

Paliament of Sri Lanka

Impalement of Sri Lanka

*** විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් නියාමනයට සැරසේ ***


විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් ඇතුළු එම ක්ෂේත්‍රවල තාක්ෂණික වෘත්තිකයන් නියාමනය කිරීමට රජය විසින් නව නීති හඳුන්වා දීමට යයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

විවාදයේ දී අඳහස් දැක්වූ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එසේ විදෙස්වල සිට පමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් ඉංජිනේරු සභාවේ ලියාපදිංචි විය යුතු බවයි.

මෙහිදී අඳහස් දැක්වූ අමත්‍යවරයා,

"රටටත් සමස්ත ජනතාවටත් විශාල සේවයක් හිමිවෙනවා. සුදුසුකම්ලත් ඉන්ජිනේරුවන් තාක්ෂණවේදීන් හඳුනාගන්න අසීරුවෙනවා.මේ සභාව මඟින් ඉංජිනේරුවන්ගේ ප්‍රමිතීන් හඳුනාගැනීමට හැකිවෙනවා. සාමාන්‍ය ජනතාවට නිසි ප්‍රමිතියෙන් යුත් ඉංජිනේරුවෙක් සොයා ගැනීමට අවස්ථාව උදාවෙනවා. පනත මඟින් විදේශ රටවලින් පැමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් නියාමනය කරන්නට හැකි වෙනවා. ඔවුන් ඉංජිනේරු සභාවේ ලියාපදිංචි විය යුතුයි."

*** අඛණ්ඩ විදුලිය ලබදීමේ අභියෝගය ගැන විදුලි ඇමැති පාර්ලිමේන්තුවේ කරුණු කියයි ***

අඛණ්ඩ විදුලිය ලබාදීමේ අභියෝගයක් බවත් නියඟය දිගටම පැවතුණහොත් අඛණ්ඩව විදුලිය ලබාදීමට රුපියල් බිලියන 51ක අමතර වියදමක් ද දැරීමට සිදුවන බව  විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේදී නියඟය හේතුවෙන් ඇතිවී තිබෙන විදුලිය සැපයීමේ අභියෝගය පැහැදිළි කරමින් මෙසේ පැවසුවේය,

"අප සතුව මෙගා වෝට් 3900ක විදුලි ධාරිතාවක් තිබෙනවා. නියඟය සෘජුව විදුලි බල සැපයුමට බලපා තිබෙනවා. දේශගුණික අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා.මෙය අඩුම වර්ෂාවක් ලැබුණු කාලයක්.විදුලියට  ජල ධාරිතාවය 32%ක් තිබෙන්නේ. එහෙත් අභියෝගයට මුහුණ දෙනවා. අඛණ්ඩව කොහොමද විදුලිය ලබාදෙන්නේ කියන අභියෝගය තිබෙනවා. අපේ අමාත්‍යාංශය හොඳ සූනාමක් ඉන්නවා. අපේ සූදානමට මහජනතාවගෙන් දිරිගැන්වීමක් ශක්තියක් අවශ්‍ය වෙනවා.

අපට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක් ඉන්නවා. අඩුවෙන් බල්බ භාවිතා කරන්න.සියයට 10%ක් අඩු කරගන්න විදුලි පාරිබෝගිකයන්ට ත්‍යාග ලබදෙනවා.වීදි ලම්පු ලක්ෂ 5ක් තිබෙනවා. වීදි ලාම්පු  සවස පැයක් පසුව දල්වන්න, උදේ පැයක් කලින් නිවා දමන්න කියා තිබෙනවා.  එල්. ඊ. ඩී. බල්බවලට මරු වීම කියන්නේ විදුලිය සෑහෙන්න අඩුවීමක්. ඉතාම අඩු මිලට එල්. ඊ. ඩී. බල්බ  පාරිභෝගිකයන්ට ලබාදෙනවා.

සූර්යබල සංග්‍රාමයට වැඩි වැඩියෙන් ජනතාව උනන්දු විය යුතුයි. වහලය මත විදුලිය නිෂ්පාදනය කරන තැනක් කරගැනීම වැදගත්. සූරය බල ගම්මාන පිහිටුවලා, අඩු ආදායම්ලාභී ජනතාවට තම වහළය කුළියට ලබාදීමට අවස්ථාව සැලසෙනවා. මේ මඟින් විදුලියන් මෙගාවෝට්  1000ක් සූර්යබල සංග්‍රාමයෙන් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. නියඟය දිගටම පැවතුණ හොත් අඛණ්ඩව විදුලිය දෙන්න රුපියල් බිලියන 51ක අමතර වියදමක්  දරන්නට සිදුවෙනවා. ආපදා තත්ත්වය වෙනුවෙන් අමතර වියදම දරන්න වෙන්නේ."මේ අභියෝගය ජයගැනීමට සැමගේ සහාය අවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.


*** ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරනවා ***

ජනමාධ්‍යවේදීන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරමින් පවතින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ගෙනා වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

මෙම සාකච්ඡා නිවාස අමාත්‍යාංශය සමඟ සිදු කරන බවත් නිවාස ලබාදීමේ දී උතුරු නැඟෙනහිර මාධ්‍යවේදීන් පිළිබඳවද සළකා බලන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. උතුරේ මාධ්‍යවේදීන් පවුල් තුනක් සඳහා නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව කී අමාත්‍යවරයා,එම නිවාස ලබාදීම ලේක් හවුස් ආයතනය, ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල සහයෝගයෙන් සිදු කරන බව ද  අමාත්‍යවරයා පැවසී ය.

"නිසි තාක්ෂණික අධ්‍යාපනයක් නොළබා පළපුරුද්දෙන් වැඩ කරන අය ඉන්නවා.ඒ අනුව විධිමත් අධ්‍යාපනයක් නොලැබූ වෘත්තිකයන්ට පාඨමාලා හදාරා මේ සභාවේ ලියාපදිංචි විය හැකියි.ඔවුන් යම් සහතික ලත් තැනකට  ගෙන ඒම විශාල පිටුවහලක් වෙනවා " . එසේම ඉදිකිරීම් හා අනෙකුත් ක්ෂේත්‍රවලට මේ පනත කාලීන අවශ්‍යතාවයක් බවද"  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

*** ඉඩම් පනත සංශෝධනයට සහ අලුතින් ඉඩම් ගබඩා පනතක් ගෙන ඒමේ යෝජනාවක් ***

අධික මිලට රජයේ ඉඩම් තක්සේරු කරන බැවින් සාමාන්‍ය ව්‍යාපාරිකයින්ට පවා ඉඩම් මිලදි ගැනීමට නොහැකි ගැටළුවක් පවතින බවත් පවතින සියළු ගැටළු වලට විසඳුම් ලබාදීම වෙනුවෙන් ඉඩම් පනත සංශෝධනය කිරීම හා අලුතින් ඉඩම් ගබඩා පනතක් ගෙන ආයුතු බවත් ඉඩම් ඇමති ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (22) පැවසීය.

ඇමති ජෝන් අමරතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව අධික මිලට ඉඩම් තක්සේරු කිරීම හේතුවෙන් සාමාන්‍ය ව්‍යාපාරිකයින්ට පමණක් නොව ආයෝජකයින්ටද ඉඩම් ලබාගැනීමේ අසිරූ තත්ත්වයක් ඇති වී තිබෙන බවයි. එමෙන්ම රජයට හා ඉඩම් ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුවට අයත් රටපුරා ඇති ඉඩම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැති අතර ඇතැම් ඉඩම් සම්බන්ධයෙන් විස්තර නිලධාරින්ගෙන් ලබාගැනීමේ අපහසුවක් පවතින බවත් ඇමතිවරයා කීය.
මෙලෙස පවතින සියළු ගැටළු වලට විසඳුමක් ලෙස ඉඩම් පනත සංශෝධනය කිරීම හා ඉඩම් ගබඩා පනත අලුතින් හඳුන්වා දීම මෙන්ම රජයට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා පවතින ඉඩම් එකම අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක නිමාවක් දැකීමට සැමගේ සහයෝගය දිය යුතුයි : විපක්ෂ නායක සම්බන්දන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක නිමාවක් දැකීම උදෙසා  සියලු දෙනා ම තම සහයෝගය මූලික වශයෙන් ලබාදිය යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා පවසයි.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාදාමය සතුටුදායක ලෙස අවසන් කිරීමට උපරිම සහාය ලබාදෙන බව සඳහන් කරන විපක්ෂනයකවරය, සියලු පුරවැසියන්ට සාධාරනත්වයෙන් හා සමානත්මතාවයෙන් යුත් ස්ථීර සාමයක් ඇති කෙරෙන පරිදි මෙම ක්‍රියාවලිය සැබෑ ලෙස හා ඵලදායි ලෙස ඉදිරියට ගෙන යෑම සැබවින් ම අත්‍යාවශ්‍ය බව්ද පැවසී ය.

*** විමල්ගේ පක්ෂය සන්ධානයෙන් වෙන්වීමට අවශ්‍ය බව පාර්ලිමේන්තුවේ දී කියයි ***

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය බව  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මන්ත්‍රීවරයා විසින් මේ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවත් මීට පෙර ද මේ බව කතානායකවරයාගෙන් ඉල්ලීමක්  කර තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වී කටයුතු කිරීමට අවස්ථාව සළසා දෙන්නැයි  මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.මේ පිළිබඳව පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවද කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය.

*** ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ***

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන ) පනත් කෙටුම්පත ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.




Share
Published 23 February 2017 7:49pm
Updated 23 February 2017 7:59pm
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends